අර්ජුන් අත් අඩංගුවට නොගත් හේතුව මෛත්‍රී හෙළිකරයි ! | Colombocall අර්ජුන් අත් අඩංගුවට නොගත් හේතුව මෛත්‍රී හෙළිකරයි ! - Colombocall

Hot News

අර්ජුන් අත් අඩංගුවට නොගත් හේතුව මෛත්‍රී හෙළිකරයි !



හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නැයි තම පාලන සමයේ ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් විට ඒ රජයේම පිරිසක් ඔහු අත්අඩංගුවට ගැනීමට මැදිහත් නොවන්නැයි ජාත්‍යන්තර පොලීසියට දන්වා තිබූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (3) පැවසීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා බරපතල මූල්‍ය වංචාවකට සම්බන්ධ බැවින් ඔහු අත් අඩංගුවට ගන්නැයි දන්වා මෙරට නීතිපති දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් අවස්ථාවේ, මෙය මූල්‍ය වංචාවක් නොව දේශපාලන ප්‍රශ්නයක් නිසා එයට මැදිහත් නොවන ලෙස රජයේම පිරිසක් මෙලෙස දැනුම් දී තිබූ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්පසු මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට තමන්ට මැදිහත්විය නොහැකි බව ජාත්‍යන්තර පොලීසිය පැවසූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

 අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කළේ මහ බැංකු වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල ආදිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර යළිත් දැනුම්දීමක් කළ පසුව බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයෙදී අද (3) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව අත්සන් 21,000 ක් යොදා ලිපිලේඛන යොමු කළ පසුවද පසුගිය රජයේ ඇතැමුන් සිංගප්පූරු බලවතුන් සමඟ ඇති මිත්‍ර සබඳතා භාවිතා කර එය වැළැක්වූ බව සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

 මෙලෙස අදෘෂ්‍ය බලතල භාවිතා කර එය වැළැක්වූයේ මහ බැංකු වංචාවේ මුදල් බෙදාගත් අය බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 ඔවුන් එසේ නොකළේ නම් හිටපු මහ බැංකු අධිපතිවරයා ගෙන්වා ගැනීමට තිබූ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා මහේන්ද්‍රන් මහතා මේ වන විට නම වෙනස් කරගෙන ඇති බවටද තොරතුරු ඇතැයි කීවේය.