මට පෝස්ට් හදන එක හොඳයි ! එතකොට පොලිසිය ජනතාවට සමීප වෙනවා | Colombocall මට පෝස්ට් හදන එක හොඳයි ! එතකොට පොලිසිය ජනතාවට සමීප වෙනවා - Colombocall

Hot News

මට පෝස්ට් හදන එක හොඳයි ! එතකොට පොලිසිය ජනතාවට සමීප වෙනවා



අජිත් රෝහණ යනුවෙන් කී විට ඔහුගේ නම සේම රූපකාය නොහඳුනන අයෙක් මේ බිමේ නැති තරම්ය. කලකට ඉහතදී ඔහු කරලියට ආවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසය. දැන් ඒ තනතුර නොඉසිලුවත් ඔහු යළිත් වරක් මේ දිනවල රටේ කතාබහට ලක්වන චරිතයක් බවට පත්වී තිබේ. මනා සංයමයකින් නිරවුල්ව බස හැසිරවීමට සමත්කම් දක්වන ඔහු ගැන මුහුණු පොතේ හැමදාමත් කියැවෙන කතාවක් වන්නේ ඔහු වැනි අයකු පොලිසියට නොගැළපෙන බවය. මක්නිසාද යත් පොලිසිය යනුවෙන් කී විට රටුන්ට සිහිවන්නේ සැඩ පරුෂ චරිත බැවිනි. පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වන ඔහු කොවිඩ් 19 ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේදී විවේකයක් ලද මොහොතකදී අප සමග සතුටු සාමීචියේ යෙදුණේ මෙසේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට සමු දී වසර ගණනාවකට පසු පරණ රස්සාවටම යළි එන්න වුණේ මොකද?
මාධ්‍යයට කතා කරලා මේ වෙලාවේ මිනිස්සුන්ට හොඳ පණිවුඩයක් දෙන්න කියලා මට පොලිස්පතිතුමා කිව්වා. ඒ වගේම ජනාධිපතිතුමාත් පොලිස්පතිතුමාට දැනුම් දී තිබුණා මට කියලා මේක දැනෙන්න කියන්න කියලා. ඒ නිසා තමයි මම යළිත් ආවේ.
පොලිස් නිලධාරීන් කීවාම මතකයට එන්නේ නියෝග දෙන, දැඩි හඬක් තිබෙන පුද්ගලයන් පිරිසක් ලෙස. නමුත් ජනතාවගේ පපුවටම දැනෙන්න හොඳින් කතා කරන්න කොහොමද ඔබ ඉගෙන ගත්තේ?
මේක අවුරුදු හත අටේ ඉඳන් ඉගෙන ගත්ත දෙයක්. අපේ තාත්තා තමයි පොඩි කාලේ ඉඳන් කතා පවත්වන විදිහ කියලා දුන්නේ. ඉස්කෝලේ යන්නත් ඉස්සෙල්ලා පොඩි කාලේ මාතෘකාවක් දෙනවා හොයාගෙන කතා කරන්න කියලා. ඒ කාලේ ඉන්ටර්නෙට් නැහැ. බණ්ඩාරනායක මහත්තයා ගැන, ඩී.එස්. සේනානායක ගැන, එංගලන්තයේ මහ රැජින ගැන, මාර්ටින් වික්‍රමසිංහ ගැන, ඔය වගේ එක එක මාතෘකා දෙනවා. මම ඒ ටික අරයගෙන් මෙයාගෙන් අහගෙන හවසට කියන්න ලෑස්ති වෙනවා. තාත්තා වැඩ ඇරිලා ආවහම විනාඩි පහක් දහයක් කියනවා ඇඳ උඩ නැගලා කතා කරන්න ඕනෑ කියලා. මම හොඳට කතා කළොත් තාත්තා අත්පොඩි ගහනවා.
කවුද ඔබේ තාත්තා, අම්මා?
තාත්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු ලිපිකරුවෙක්. අපේ ගම කොස්ගම, කනම්පැල්ලයි. අම්මා අලව්වේ උපන්නේ. පස්සේ අම්මටයි, තාත්තටයි ඩී.ඇස්. සේනානායක මහත්තයාගේ ගොවි ව්‍යාපාරයෙන් ඉඩම් ලැබුණා තිරිකුණාමලයේ අල්ල ගොවි ජනපදයෙන්. සේරුවාවිල තමයි ඔවුන් හිටියේ.
පවුලේ සහෝදර සහෝදරියෝ හිටියද?
මගේ පවුලේ සහෝදරියෝ දෙන්නයි, සහෝදරයෝ තුන්දෙනයි.
ඔබගේ පවුලේ අය කවුද?
නෝනගේ ගම පූගොඩ. දුවයි, පුතයි ඉන්නේ. දුව බෙලරූස් රාජ්‍යයේ වෛද්‍ය සිසුවියක් ලෙස ඉගෙන ගන්නවා.
ඔබ අධ්‍යාපනය ලැබුවේ?
මූලික අධ්‍යාපනය කනම්පැල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන්, ඊට පස්සේ තමයි උසස් අධ්‍යාපනයට කොළඹ ආනන්ද විදුහලට ආවේ.
ඉස්කෝලේ යන කාලයේ ඔබ කථිකයෙක්ද?
ඒලෙවල් වෙද්දි වැඩිපුර ඒ වෙනුවෙන් කැපවෙන්න බැරි වුණා. නිතරම මට ගමේ දහම් පාසලේ කථික තරගවලින් වැඩිපුරම අවස්ථාව ලැබුණා අද ඉන්න තත්ත්වයට එන්න. දහම් පාසලේ කථික තරග, විවාද තරගවලින් තමයි කථිකත්වය වැඩිදියුණු වුණේ.
ඔබගේ නිවුණු ස්වරය පොලිස් සේවයට ගැළපෙන්නේ නැහැ කියලා හිතුණේ නැද්ද?
නැහැ, නැහැ. එහෙම හිතුණේ නැහැ. සමහර කතා කරන්න ඕන වෙලාවට හයියෙන් කතා කරනවා. දත්මිටි කාලා කතා කරනවා. වාද විවාද කරනවා. හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්තයාගෙන් මම ඉගෙන ගත්ත දෙයක් තමයි පසුබසින්න ඕනා වෙලාවෙදි පසු බසින්න ඕනා. ආපහු නැගිටින්න ඕන වෙලාවට නැගිටින්න ඕන කියලා.
ඔබ පොලිස් සේවයට සම්බන්ධ වන්නේ කොහොමද?
ඇත්තටම ඒක අහඹු සිදුවීමක්. මගේ පොඩිම බලාපොරොත්තුවක්වත් තිබුණේ නැහැ පොලිස් නිලධාරියෙක් වෙන්න.
ඔබ කුමන අංශයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තු වුණේ?
මම උසස් පෙළට බයෝ සයන්ස් කළේ. වෛද්‍යවරයකු වෙන්න තමයි අරමුණ වුණේ. අහඹු දෙයක් ලෙස තමයි පොලිසියට යන්න හිතුණේ.
ඒ සඳහා වූ නිමිත්ත කුමක්ද?
1987දී මම උසස් පෙළ කරලා ඉවර වුණා විතරයි බිග් මැච් ගිහිල්ලා සිගරැට් බොන්න වැරදි පුරුද්දක් පුරුදු වුණා. රෑට කෑම කාලා පත්තරය බලන්න යනවා කියලා ගෙවල් ළඟ තියෙන බේකරියට යනවා. බේකරිය තිබුණේ අපේ ගෙවල් ළඟමයි. රෑට පාන් පුච්චන නිසා පත්තරය බලන්න යනවා කියලා යනවා. ඒ වෙලාවේ ගමේ මල්ලි කෙනෙක් මට කිව්වා පොලිසියට පාන් ගෙනියන්නේ බේකරියෙන්, මට පොලිසියට බැඳෙන්න ඇප්ලිකේෂන් එකක් ඉල්ලලා දෙන්න කියලා. එයාට පොලිස් කොස්තාපල් තනතුරට බැඳෙන්න ඇප්ලිකේෂන් එකක් ඉල්ලුවා. පහුවදා ඒ මල්ලි ඇවිත් කිව්වා පොලිස් කොස්තාපල් විතරක් නෙවෙයි එස්.අයි. තනතුරටත් කවුරුහරි ඉන්නවා නම් ඇප්ලයි කරන්න කියලා ජීප් එකෙන් දීලා ගියා කියලා. ඒ කාලේ ඉන්ටර්නෙට් නැති නිසා පොලිසියෙන් තමයි ඉල්ලන්න ඕනා. මමත් බේකරියෙන් ඇප්ලිකේෂන් එක හවසක අරන් ආවා. ඒක සතියක් දෙකක් බේකරියේ මේසෙ උඩ රෝල් වෙවී රෝල් වෙවී තිබිලා මගේ අතට ආවා. ඒක තමයි පුරවලා දැම්මේ. ඒකට තමයි පොලිසියට යන්න ආවේ. නැතිනම් ජීවිතේට පොලිසියට යන්න ආසාවක් තිබුණේ නැහැ.
බේකරියට සිගරැට් බොන්න ගිය පුරුද්දට ඔබ පොලිසියට එක්වුණා. ඒ පුරුද්ද තවමත් තියෙනවාද?
ඒ පුරුද්ද එහෙමම මගහැරුණා. දැන් නම් සිගරැට් බොන්නේ නෑ.
පොලිසියට බැඳිලා මුල්ම පත්වීම ලැබුණේ කොහෙද?
මම මුලින්ම තංගල්ලේ සේවය කළා. ඊට පස්සේ අම්බලන්තොට, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර පොලිසිවල ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළා. මේ හතරේම හිටියේ මාස දහයයි.
ඊට පස්සේ මොකද කළේ?
මම හරියටම අවුරුදු 23දී ලංකාවේ ළාබාලම ඕ.අයි.සී. විදියට පත්වුණා. ඒ 1989දී. පොලිසියට බැඳුණාම අවුරුදු තුනක් ආධුනික කාලයක් තියෙනවා. ස්ථානාධිපති තනතුරක් දෙන්න සේවයේ ස්ථිර වුණු කෙනකු වන්න ඕනා. ආධුනික කාලයේදී කාටවත් ස්ථානාධිපති තනතුරු දෙන්නේ නැහැ. නමුත් මම සේවයේ ස්ථිර වන්නත් ඉස්සෙල්ලා ගාල්ලේ, වඳුරඹ ඕ.අයි.සී. විදිහට පත්වන්න සුදුසුකම් ලැබුවා.
පරිවාස කාලයේදීම මේ සඳහා සුදුසුකම් ලැබුවේ ලුණුගම්වෙහෙර වැඩ කරපු විදිහ, කළමනාකරණය ගැන කාගේත් ප්‍රශංසාව හිමිවුණා. ඒ කාලේ කඩ වැහුණු කාලයක් වුණත් මම මිනිස්සු එක්ක සමීපව වැඩ කළා. මම මාස දහය ඇතුළත උපරිම වැඩ කළා. මම යන්ග් එස්.අයි. කෙනකු විදිහට මිනිස්සුන්ගේ හිත දිනාගෙන වැඩ කරපු හැටි දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ඒ. වීරරත්න දැක්කා. මිනිස්සු ඒ කාලේ පොලිසියට අකමැති වුණත් මාත් එක්ක හොඳින් වැඩ කළා.
ඒ කාලේ වඳුරඹ ඕ.අයි.සී. තනතුර පුරප්පාඩු වුණා. ඩී.අයි.ජී. වීරරත්න තමයි එවකට හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරාට මගේ ගැන කියලා ඕ.අයි.සී. තනතුර අරන් දුන්නේ.
එතැනින් එහාටත් කල් තියාම උසස්වීම් ලබන්න හැකිවුණාද?
ඔව්, එතැනින් පස්සේ අඟුණකොළපැලැස්ස ඕ.අයි.සී. විදිහට පත්වුණා. ඊට පස්සේ වලස්මුල්ල ඕ.අයි.සී. වුණා. අපේ පොලිසි ශ්‍රේණිගත කිරීම් කරලා තිබුණා. වලස්මුල්ල කියන්නේ A3 කාණ්ඩයේ එකක්. ඒක දෙන්නේ අයි.පී. කෙනකුට, සී.අයි. කෙනකුට. මම එස්.අයි. තනතුරේදී වලස්මුල්ල ඕ.අයි.සී. වුණා. ඒ 1995 දියි. ඊළඟ අවුරුද්දේ මම අයි.පී. කෙනකු වුණා.
ඊට පස්සේ උසස්වීම් කොහොමද වුණේ?
1999දී ඒ.එස්.පී. කෙනකු ලෙස උසස් වුණා. පොලිසියට බැඳිලා අවුරුදු 11කින් එම තනතුරට පත්වුණා. ලංකාවේ තරග විභාගයකින් අංක එකට තේරුණේ මමයි. ඒ.එස්.පී. ලා එකොළොස් දෙනකු අතරින් පළමුවැනියා වෙද්දි මගේ වයස අවුරුදු 32යි.
ඔබේ ජීවිතයේ අමතක නොවන අත්දැකීම් මොනවාද?
මම ඒ.එස්.පී. වෙලා මුලින්ම ගියේ මඩකලපුව, එරාවූර්වලට. මම අවුරුදු එකහමාරක් එහේ හිටියා. 2000 සැප්තැම්බර් 30 වැනිදා මමත් එක්ක ගමන් ගත් රථ පෙළකට කිරාන්වලදී එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. එතැනදී එක්කෙනකු මැරිලා, පොලිසියේ දහතුනක් බරපතළ තුවාල ලැබුවා.
ඔබ බේරුණේ කොහොමද?
මම පොලිස් ජීප් එකේ සින්දුවක් අහගෙන ගියා. එකපාරටම කැසට් එක වැඩ කරන්නේ නැතිව ගියා. මම පොලිස් පෙජරෝ එකෙන් බැහැලා තැපැල් දෙපාර්තමේන්තුවෙන් පවරා ගත්ත කොළ පාට පෙජරෝ එකට නැග්ගා. ඒකට නැගලා විනාඩියක් ගියේ නැහැ පොලිස් ජීප් එක බ්ලාස්ට් කළා. කැසට් එක වැඩ කර කර තිබුණා නම් මම මෙලහකට ජීවතුන් අතරත් නැහැ. මම අනික් ජීප් එකට සින්දු අහන්න නැග්ග නිසයි බේරුණේ.
ඒ වගේ තවත් මරණය දැක දැක බේරුණු අත්දැකීම් තියේද?
ඔව්, මම 2005දී දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි කළා. ඒ රාජකාරි කරමින් ඉද්දි එ​හේ පොඩි ගුවන් තොටුපොළවල් තිබ්බේ. බොරලු දාලා තලපු ගුවන් පථවලට තමයි යූ.එන්. එකේ පොඩි ෆ්ලයිට් බෑවේ. යූ.එන්. ඩියුටි ඉන්න අයව ගෙනියන්න. මමත් මගේ විභාගයකට පහුවදා ලංකාවට යන්න හිටියේ. දකුණු සුඩානයේ මලක්කාර් සිට අගනුවරට එන්න ඕනැ. එදා ගුවන් තොටුපොළේ ගිනි නිවන රථය වැඩ කරපු නැති නිසා ෆ්ලයිට් බෑවේ නැහැ. හෙලිකොප්ටරයකින් තමයි අල්ලපු ගුවන් තොටුපොළට අරන් ගියේ. එහේ ෆ්ලයිට් එකේ යන්න ෆෝම් එකක් දාන්න තියෙනවා. ඒක දාලා මාසයක් විතර ඉන්න ඕන. මමත් මාසයක් තිස්සේ යන්න දාලා තමයි ආවේ. මම අංක එකට හිටියා. එහේ සුදු ජාතිකයන්ට, කළු ජාතිකයන්ට තමයි මුල් තැන දුන්නේ. එදා ෆ්ලයිට් නැති නිසා කට්ටිය පොරකෑවා. මම කිව්වා මම අංක එකට ඉන්නෙ, මාසයකට කලින් යන්න දැම්මේ, ලංකාවේ එක්සෑම් එකකට යන්නයි කියලා. ‘ඔයාට හෙටනේ යන්න තියෙන්නේ’ කියලා අනිත් අයව නැග්ගුවා.
එතැනදී එක සීට් එකක් ඉතුරුවෙලා මම වාඩිවුණා. අන්තිම මොහොතේ තව සුදු ජාතිකයෙක් ආවා. මාව බස්සලා එයාව ගත්තා. දෙවැනි පාර තව කෙනෙක් ගෙනියන්නම් කිව්වා. මම ආයෙත් නැග්ගා. ඊට පස්සේ ආයෙත් සුද්දෙක් ඇවිත් මාව බස්සන්න හැදුවා. මම බහින්න බැහැ කියලා ලොකු රණ්ඩුවකුත් ගියා. ඊට පස්සේ ‘උඹව ලංකාවට යවනවා’ කියලා ‘බැහැපං’ කිව්වාම මම ආයෙත් බැස්සා. තුන් වතාවක් නැගපු හෙලිකොප්ටරයෙන් මාව බලෙන්ම බැස්සුවා.
ඔබ ඊට පස්සේ මුහුණ දුන්නේ?
මාව බලෙන් බැස්සුව එකට හරි කේන්තියි. මට හෙට ෆ්ලයිට් එක මිස් වුණොත් ලංකාවට යන්න වෙන්නේ නැහැ. එතැනදී සුද්දන්ට, කල්ලන්ට තැන දුන්න නිසා මට බහින්න වුණා. මම ලංකාවේ කෙනකුට ජීප් එක අරන් වරෙන් කියලා කිව්වා. එයාර් පෝට් එකේ ඉඳන් ඇවිත් හීටරය ගහලා කහට එකක් බොන්න හදද්දීම මාව දාලා ගිය හෙලිකොප්ටරය කඩා වැටුණා කියලා දැනගත්තා. ඒකේ ගිය විසි දෙදෙනාම මැරිලා තිබුණා. එදා ඒකේ පොර කාලා ගියා නම් මම අද නැහැ.
මරණය පෙනි පෙනී මාරකවලින් බේරෙන තවත් අවස්ථා ඔබට ලැබුණාද?
2009 වසරේත් එහෙම අවස්ථාවක් උදාවුණා. මටත්, තව නිලධාරීන් පස්දෙනකුටත් හයිටිවල සේවය කරන්න යන්න ආවා. නමුත් එවකට හිටපු පොලිස්පති, ‘තමුසෙලා එක පාරක් ගිහින් තියෙනවා, යන්න දෙන්න බැහැ’ කිව්වා. අපිට යන්න දුන්නේ නැති එකට අපි නඩුවක් ෆයිල් කළා. නමුත් පොලිස්පති යන්න දුන්නේම නැහැ. අපිට ලෑන්ඩ් කරන්න තිබුණු දවසේ යන්න දුන්නා නම් අපි ජීවතුන් අතර නැහැ.
එදා මොකද වුණේ?
අපි එදා ලෑන්ඩ් කරන්න හිටපු දවසේ අලුතින් යූ.එන්. මිෂන් යන අයට ඉන්න දෙන හෝටලයක් තියෙනවා. ඒකේ අපි නවතින්න හිටියේ. එදා රෑ හයිටිවල මහා භූමිකම්පාවක් ඇතිවෙලා ලක්ෂ ගාණක් මැරුණා. අපි ඉන්න හිටපු හෝටලය බිමට සමතළා වුණා. එදා යූ.එන්. මිෂන් එකට ගිහින් හෝටලයේ හිටපු යූ.එන්. ස්ටාෆ් එක හයසීයක් මැරුණා. එදා අපිට යන්න ලැබිලා ගියා නම් අපිටත් වෙන්නේ ඒ ටිකමයි.
ජීවිතයේ දැකපු සුන්දරම පොලිස් නිලධාරියා ඔබයි කියලා සෝෂල් මීඩියාවල මේ දවස්වල කමෙන්ටු යනවා. ඔබ කාන්තාවන් අතර වැඩි ආකර්ෂණයක් දිනාගත් නිලධාරියා කියලත් ප්‍රසිද්ධයි. ඒ ගැන මොකද හිතන්නේ?
මිනිස්සුන්ගේ පෝස්ට්වලට මම කැමතියි. එකම දේ තමයි මට ආඩම්බරයක් නැහැ. මට නෙවෙයි, පොලිසියට මිනිස්සු ආදරය කරනවට මම කැමතියි. පොලිසිය දිහා මිනිස්සු වෛරයෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. මම දිහා ආදරෙන් බලනවා කියන්නේ පොලිසිය දිහා බලනවා කියන එකනේ. මගේ ප්‍රතිරූපය ගොඩනගනවාට වැඩිය මගේ ප්‍රතිරූපය තුළින් පොලිසියේ ප්‍රතිරූපය ගොඩනැගීමයි වැදගත් වෙන්නේ.
කාන්තාවන් ඔබ කෙරෙහි ආකර්ෂණය වන බව කියමින් අජිත් රෝහණ වහා අත්අඩංගුවට ගනු කියලා කොලම් එකක් හතර වටේ ෂෙයාර් වුණා. ඔබ එය දැක්කද?
ඔව්, මම ඒක දැක්කා. මම වගේම බිරිඳත් ඒක බලලා හිනාවුණා. අපි ජීවිතේ අවබෝධයෙන් කටයුතු කරන්නේ.
ඔබ ඇඳිරි නීති නියෝග ක්‍රියාත්මක කරන ආකාරය කියන්න ගත්තට පස්සේ සින්දු කෑලි දාලා ඔබ ගැන සමාජ ජාලා පෝස්ට් ෂෙයාර් වුණා. ඒ නිර්මාණ ගැන මොකද හිතුණේ?
ඒක මම හරි අගේ කරනවා. ඒ කියන්නේ මම මිනිස්සුන්ට එළියට බහින්න එපා, ඇඳිරි නීතියට ගරු කරපන් කියලා කියන එක මිනිස්සුන්ට දැනිච්ච විදිහ තමයි ඒකෙන් පිලිබිඹු වුණේ. මට අවශ්‍ය වුණෙත් ඒක තමයි. ඒකට මම හරි කැමතියි. ඒවායෙන් නිරූපණය වන්නේ මම කියපු පණිවුඩය ජනතාවට හරියටම වැදිලා තියෙනවා කියන එකයි. සිංහලෙන්, ඉංග්‍රීසියෙන් මට කතා කරන්න පුළුවන් වගේ දෙමළෙන් කියන්නත් පුළුවන් වුණා නම් තවත් දෙමළ ජනතාව අතරට පණිවුඩය යනවා. මම කනගාටු වෙනවා දෙමළ බැරිවුණු එක ගැන.
ඔබගේ දුරකථනයට නිවනක් තියෙනවාද?
දවසට කෝල් පන්සීයක් විතර එනවා.
නිදාගන්නවත් වෙලාවක් තිබුණද මේ කාලේ?
මුල්ම කාලේ දවසට පැය දෙකක් විතර නිදාගත්තේ. මුල් සති තුනේ වැඩසටහන්වලට ගිහිල්ලා රෑ එළිවෙද්දි එනවා, ආයෙත් පාන්දර නැගිටිනවා.
පාතාලයේ අය අවි ආයුධ පෙන්වන්න යද්දි පොලිසියට වෙඩි තියන්න ගිහින් වෙඩි කාලා මැරුණා කියලා ඔබ මාධ්‍ය ප්‍රකාශක ධුරය දැරූ කාලයේ කීවා. ඒ ප්‍රබන්ධ කතාවලට ඔබට සාහිත්‍ය සම්මානත් දෙන්න වටිනවා කියලා තීරු ලිපි ලියැවුණා?
කවදාවත් වැරදි දේ කිව්වේ නැහැ. මිනිස්සුන්ට හරි දේ හරි විදිහට කියලා නීතියේ ප්‍රතිපාදන අපරාධකරුවන් මැඬපවත්වන්න රටේ යහපතට ඕනෑ විදිහට නම්‍යශීලීව කියන්න පුළුවන් වුණා. කොයි වෙලාවකවත් බොරු කිව්වේ නැහැ.
පොලිස් කබාය ඇන්ද ඔබ නීතිඥ කබායත් දාගත්තේ කොහොමද?
වෛද්‍ය විද්‍යාව හදාරලා එම්.බී.එස්.සී. කරන්න හිටියා. ඒක බැරිවුණු නිසා පොලිසියේ ඉන්න කාලේ නීතිය ගැන හදාරන්න හිතුවා. වඳුරඹ, අඟුණුකොළපැලැස්ස ඕ.අයි.සී. වෙලා ඉන්න කාලේ තමයි උත්සාහ ගත්තේ. නීතිය හදාරන්න බාහිර අයට අවස්ථා දෙකයි තිබුණේ. විවෘත විශ්වවිද්‍යාලයේ හෝ නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ඕන. දොළොස් දාහක් විතර විභාගය ලිව්වට සීයයි, එකසිය පනහයි ගන්නේ. මම නව වතාවක් විභාගය ලිව්වා. දහවැනි වතාවේ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එතැනදී එල්.එල්.බී. ගත්තා. ඊට පස්සේ නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත් වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.එම්. පශ්චාත් උපාධියත් හිමිකර ගත්තා.