රිෂාඩ්ගේ නමට කෝටි ගණනක දේපළ සහ ඇමරිකානු ගිණුමක් ! | Colombocall රිෂාඩ්ගේ නමට කෝටි ගණනක දේපළ සහ ඇමරිකානු ගිණුමක් ! - Colombocall

Hot News

රිෂාඩ්ගේ නමට කෝටි ගණනක දේපළ සහ ඇමරිකානු ගිණුමක් !




හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට අයත් ඇමරිකාවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකට දින 52 ආණ්ඩුව සමයේ ඩොලර් ලක්‍ෂයක මුදලක් බැරවීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාගෙන් සහ රහස් පොලිසියෙන් ඉල්ලා සිටින බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.
රිෂාඞ් හිටපු ඇමැතිවරයාගේ ඇමරිකාවේ පිහිටි එම ගිණුමට මෙරට සිට අදාළ මුදල් බැර වී තිබෙන බවත්, දෙවැනි අවස්ථාවේදී ඩොලර් ලක්‍ෂයක මුදලක් බැරවීම ඇමරිකානු එෆ්බීඅයි ආයතනය විසින් නතර කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.
එම නිසා දින 52 ආණ්ඩුව තුළ හිටපු ඇමැතිවරයාට එම මුදල ලැබුණේ කොහොමද සහ කුමක් අරභයා දුන්නේ ද යන්න සොයා බැලිය යුතු බවත් විමල් වීරවංශ මහතා කීවේය.
ලැබුණු තොරතුරකට අනුව රිෂාඞ් හිටපු ඇමැතිවරයාගේ නිවස රහස් පොලිසිය පරීක්‍ෂා කර තිබෙන බවත්, එහිදී නීතිවිරෝධී ගනුදෙනු රැසක ලියකියවිලි හමුවී තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය අධ්‍යයනයක නිරත වෙමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අනුව රිෂාඞ් හිටපු ඇමැතිවරයා නීතිවිරෝධී ලෙස අතිවිශාල ධනයක් උපයා තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී අදාළ නීතිවිරෝධී ධනයෙන් කුඩා කොටසක හෝ තොරතුරු අනාවරණය කරගත හැකි බවත් විමල් වීරවංශ මහතා පැවසීය.
දූෂිත ගනුදෙනු සම්බන්ධ ලිපිලේඛන රහස් පොලිසියේ භාරයට ගෙන තිබෙන බවත්, ඉදිරියේදී පිළිගත් ක‍්‍රමවේදයකට අනුව චූදිතයන්ට නීතිය ක‍්‍රියාත්මක වනු ඇති බවත් ඇමැති විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ඊයේ (10 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඞ් බදුර්දීන්් මහතාගේ නිවස පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එම අදහස් පළ කළේය.