කොරෝනා බිලිගත් සංඛ්‍යාව 479 ක් දක්වා ඉහළට | Colombocall කොරෝනා බිලිගත් සංඛ්‍යාව 479 ක් දක්වා ඉහළට - Colombocall

Hot News

කොරෝනා බිලිගත් සංඛ්‍යාව 479 ක් දක්වා ඉහළට




චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 479 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දින මෙම වෛරසයට තව ත් පුද්ගලයන් 65 දෙනෙකු ගොදුරු වී තිබේ.

මේ අතර චීනයේ හූබෙයි පළාතේ කොරෝනා වෛරසය අලුතින් ආසාදනය වූවන් 3156 දෙනෙකු පිළිබඳව ද වාර්තා වේ.

චීනයෙන් පිටත හොංකොං දේශයෙන් කොරෝනා වෛරසයට ගොදුරුවූවකු පිළිබඳ ඊයේ වාර්තාවීමත් සමග ලොව විශාලතම සූදු පොළ ලෙස සැලකෙන මැකාවූ හි සියලු කැසිනෝ හල් වසාදමන ලෙස නියෝග කෙරුණි.

හොංකොං දේශයේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය 39 හැවිරිදි පුද්ගලයා චීනයෙන් පිටත දී මෙම වෛරසයෙන් මියගිය දෙවන තැනැත්තාය.

මේ අතර කොරෝනා වෛරසය ගෝලීය අවදානම් තත්ත්වයක් බවට පත්වීමට පෙර වළක්වාගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාන්‍යාධිකාරී ටෙඩ්රෝස් ඇඩනොම් සඳහන් කළේ, වෛරසය මර්දනය කිරීමට චීනය ගත් පියවර අගය කළ යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පිලිවෙත් අගය කළේ, වෛරසයේ පැතිරයාම ඇරඹි මුල් අවධියේ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් චීන පාලනාධිකාරියට දැඩි විවේචන එල්ලවන පසුබිමකදීය.

මේ අතර ඊයේ ජපානයේ යොකොහොමා හිදී නිරෝධායනයට ලක් කළ නෞකාවේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ජපානය එම නිරෝධායන කටයුතු ආරම්භ කළේ, පුද්ගලයන් 3700 දෙනෙකු සිටි එම නෞකාවේ ගමන්ගත් හොංකොං ජාතිකයකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසුවයි.