වගා හානිය සහ ජීවන අරගලය නිසා ගිනිතබාගෙන ජීවිතයෙන් සමුගත් ලාංකික ගොවියා ! | Colombocall වගා හානිය සහ ජීවන අරගලය නිසා ගිනිතබාගෙන ජීවිතයෙන් සමුගත් ලාංකික ගොවියා ! - Colombocall

Hot News

වගා හානිය සහ ජීවන අරගලය නිසා ගිනිතබාගෙන ජීවිතයෙන් සමුගත් ලාංකික ගොවියා !




සිය වගාවන්ට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ කුසගින්න නිවා ගැනීමට උයනා බත්පත පවා රොස්වී යෑම නිසා දැඩිව සිත්තැවුලට පත්වී සිරුරට ගිනි අවුළවා ගෙන ජීවිතයෙන් සමුගත් තනිවම අක්කර ගණනාවක් අස්වැද්දූ දක්ෂ ගොවි මහතකු පිළිබඳ අනුවේදිනීය සිදුවීමක් ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ සියඹලෑව ප්‍රදේශයෙන් වාර්තා විය.
ගලෙන්බිඳුණුවැව සියඹලෑව ගම්මානයේ පදිංචිව සිටි කළු මහත්තයා නමින් හඳුන්වන ගොවි මහතා මෙලෙස තම ජීවිතයෙන් සමුගෙන ඇත්තේ තම වගාවන්ට මොනරුන් ඇතුළු වන සතුන්ගෙන් දෛනිකව සිදුවන හානි ඉවසා දරා ගැනීමට නොහැකිවයි.
වයස අවුරුදු 60ක් පමණ වන ගොවි මහතා විවාහ නොවී තනිකඩව ජීවත්වූ පුද්ගලයකු වන අතර ඔහු සියඹලෑව ගම්මානයෙන් එපිට පිහිටි කුඩා ගල්තලාවක් මත පැලක් අටවාගෙන බඩඉරිඟු ඇතුළු බෝග වර්ග වගා කරගෙන ජීවිකාව ගෙන ගොස් තිබේ. බණ- භාවනාව වෙනුවෙන්ද මුල්තැනදී කටයුතු කළ ඔහුට ගෙවන්නට සිදුව තිබෙන දිවි පෙවත සම්බන්ධයෙන් කනගාටුවෙන් සිට ඇති බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
මීට දින හතරකට පමණ ඉහතදී දහවල් ආහාරය සඳහා සහල් ළිප තබා සිටින විට මොනරුන් රෑනක් පැමිණ බඩඉරිඟු හේනේ සිටිනු දැක මොනරුන් එළවා දැමීමට එහි ගොස් තිබේ. එහි ගොස් නැවත පැලට පැමිණෙන විට ඔහුගේ බත රොස් වී තිබෙනු දැක ජීවිතය පිළිබද දැඩිව කලකිරී ගෙපැලේ තිබූ ලාම්පුවේ තෙල් ඇඟට වත් කර ගෙන ඔහු ගිනි තබා ගෙන ඇත.
සිරුරට ගිනි ඇවිළී වේදනාව ඇතිවීම නිසා ඔහු දිව විත් අසල වැවකට පැන ඇති අතර නෑ හිත මිතුරන් එක්ව ඔහු දියෙන් ගොඩට ගෙන බරපතළ පිලිස්සුම් තුවාල ලබා සිටි ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. දින හතරකට ආසන්න කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගියදා (04දා) ජීවිතක්ෂයට පත්විය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හා හදිසි මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති අතර එහිදී සිත්තැවුලට පත්වී සිදුකරගත් සියදිවි නසා ගැනීමක් බව අනාවරණය වී ඇත.