අනාගතයට වටින දූෂණ අඩුවෙන වැදගත් තීරණයක් ජනපති ගනී ! | Colombocall අනාගතයට වටින දූෂණ අඩුවෙන වැදගත් තීරණයක් ජනපති ගනී ! - Colombocall

Hot News

අනාගතයට වටින දූෂණ අඩුවෙන වැදගත් තීරණයක් ජනපති ගනී !




සේවාලාභියා, සේවා සපයන්නා ළගට යනවා වෙනුවට අන්තර්ජාලය මගින් අදාළ සේවා සහ අනුමැතීන් සපයන ක්‍රමවේදයක් කඩිනමින් සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.
 ජනාධිපති කාර්යාලයේ දී අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්ෂණ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා තිබෙනවා.
රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම මෙහි අරමුණයි.
ඒ අනුව සියලු රාජ්‍ය ආයතන සතු දත්ත ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනයේ පූර්ණ මැදිහත්වීමෙන් එක් රැස් කෙරෙනු ඇති.  
නව ක්‍රමවේදය මගින් තාක්ෂණය සහ අන්තර්ජාලය භාවිතයෙන් හැඳුනුම්පත්, රියැදුරු හා ගුවන් ගමන් බලපත්‍ර, උප්පැන්න, විවාහ හා මරණ සහතික ලියාපදිංචි කිරීම සහ රජයේ ඉඩම් ඔප්පු ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවා කඩිනමින් ඉටුකර ගැනීමට හැකියි. 
දත්ත එක් පද්ධතියකට ගැනීමෙන් කාලය අවම කර අකාර්යක්ෂමතාව සහ දූෂණය වළක්වා ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
බදු අය කිරීමේ සිට විශ්‍රාම වැටුප දක්වා වූ ක්ෂේත්‍ර රැසක ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයකරණයෙන් (Automation) ඉටු කර ගැනීමට අවකාශය සැලසීම මෙහි මූලික අපේක්ෂාවයි. 
දත්ත එක් රැස්ව තිබීමෙන් රටකට බලපාන ප්‍රධාන තීන්දු තීරණ ගැනීමේ දි නිවැරදි විශ්ලේෂණයක් කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.