තනි තනි කාමර සමඟ පැය 48 න් ඉදිවන දියතලාව රෝහල ! | Colombocall තනි තනි කාමර සමඟ පැය 48 න් ඉදිවන දියතලාව රෝහල ! - Colombocall

Hot News

තනි තනි කාමර සමඟ පැය 48 න් ඉදිවන දියතලාව රෝහල !



කොරෝනා වයිරසය බහුල වශයෙන් පැතිර තිබෙන චීනයේ වූහාන් ප්‍රදේශයේ සිරවී සිටින ලාංකික සිසු සිසුවියන් පිරිස මෙරටට රැගෙනවිත් නිරීක්ෂණය කිරීම සඳහා දින දෙකක් ඇතුළත දියතලාව හමුදා කඳවුරු පරිශ්‍රයේ විශේෂිත වූ රෝහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යුද හමුදාව තීරණය කර තිබේ.

විසබීජ පිටතට නොයන ලෙසට තනි තනි කාමර වශයෙන් මෙය ඉදිවන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොරෝනා වයිරසය දෙසතියක පමණ කාලයක් ශරීරයේ තිබී සක්‍රිය වන අතර වූහාන් නගරයේ සිට සිසු සිසුවියන් පැමිණියහොත් දෙසතියක පමණ කාලයක් මෙම සුරක්ෂිත කාමරවල නේවාසිකව තැබීම සඳහා මෙම නව රෝහල් ගොඩනැඟිල්ල ඉදිකරන බවද යුද හමුදාව පවසයි.

දැනට චීනයේ වූහාන් ප්‍රදේශයේ සිසු සිසුවියන් 33දෙනකු පමණ සිටින අතර ඔවුන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමද සූදානමින් සිටියි.
එහෙත් වූහාන් ප්‍රදේශයෙන් කිසිවකුට පිටවීම සඳහා මෙතෙක් එරට රජයෙන් අවසර ලැබී නැති අතර එම අවසරය ලැබුණු වහාම ඔවුන්ව දිවයිනට රැගෙන ඒමට නියමිතය.
විශේෂිත ගුවන් යානයකින් ඔවුන්ව මෙරටට රැගෙන ඒමෙන් පසුව දියතලාව කඳවුරේ පිහිටි මෙම විශේෂිත රෝහල් ගොඩනැඟිල්ලට අධීක්ෂණය සඳහා රැගෙන යෑමට නියමිතව ඇත. 


දියතලාව කඳවුරේ , යුද හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිවන මෙම ගොඩනැඟිල්ලේ එක් එක් කාමරයක වෙන වෙනම වැසිකිළි කැසිකිළි පහසුකම් පවතින බවද යුද හමුදාව පවසයි