ලබන වසරේ විදුලි හිඟයක් ඇතිවෙනවා ! විදුලි කප්පාදුවක් ! | Colombocall ලබන වසරේ විදුලි හිඟයක් ඇතිවෙනවා ! විදුලි කප්පාදුවක් ! - Colombocall

Hot News

ලබන වසරේ විදුලි හිඟයක් ඇතිවෙනවා ! විදුලි කප්පාදුවක් !





ලබන වසරේ අ‌‌ප්‍රේල් – මැයි මාස වනවිට ශ්‍රී ලංකාව දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණපාන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් විට එය විදුලි කප්පාදුවක් දක්වා යා හැකි බවයි.

2019 – 2020 යන කාලසීමාවේදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවෙට් 100ක් පමණවන අවශ්‍ය විදුලි ධාරිතාවය එක්නොවීම මෙයට හේතුව බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

විදුලිබල පද්ධතියට අමතර විදුලි ධාරිතාවක් එක් කළ හැකි සූර්ය බල ශක්ති හා සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල අමාත්‍යංශය කිසිදු පියවරක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමග ඊ‌යේ පැවති සාකච්ඡාවකදි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළා.

එහිදී අදහස් දක්වමින් විදුලිබල නිලධාරීන් සඳහන් කර ඇත්තේ ජාතික විදුලි බල පනතේ ඇති යම් යම් වගන්ති හේතුවෙන් නව විදුලි උත්පාදනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට බාධාවක් වූ බවයි.

ඒ අනුව එම පනත පිළිබඳ කරුණු සොයා බලා පනත සංශෝධනය කිරීම සඳහා විදුලිබල අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ 2020වනවිට ඉදිකිරීමට යෝජිත නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ ගකළ යුතු බවයි.

ඒ සදහා මේ වනවිට වෙන්කර ඇති අක්කර 20 ක භූමි ප්‍රමාණයට රජයේ ඉඩම් වලින් තවත් අක්කර 10ක ප්‍රමාණයක් එක්කර හැකි ඉක්මණින් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කල යුතු බවට අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.