රනිල් වික්‍රමසිංහ පන්නාදැමීමට සජිත් පාර්ශවය සැරසෙයි | Colombocall රනිල් වික්‍රමසිංහ පන්නාදැමීමට සජිත් පාර්ශවය සැරසෙයි - Colombocall

Hot News

රනිල් වික්‍රමසිංහ පන්නාදැමීමට සජිත් පාර්ශවය සැරසෙයි



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවීම හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන පාර්ශ්වය දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් බව වාර්තා වනවා.

 ඒ අනුව එම පාර්ශ්වය වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීමට සූදානම්ව සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ලබානොදීම සම්බන්ධයෙන් එම පාර්ශ්වය මෙවැනි තීන්දුවක් ගැනීමට හේතුවී ඇති අතර  මේ වනවිට අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දැක්වූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. එසේම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඊයේ (18) ප්‍රකාශ කළේ.

කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රුවන් විජේවර්ධන, මලික් සමරවික්‍රම සහ අජිත් පී පෙරේරා යන අමාත්‍යවරුන්ද මේ වනවිට සිය ධූරවලින් ඉල්ලා අස් වී ඇති අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස් වුණා.

ඒ අනුව එම පාර්ශවය ඉදිරි දේශපාලන තත්වය සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.