අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු නිළධාරීන්ට විදෙස් ගමන් තහනමක් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට බලපැවැත්වෙන පරිදි විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න මහතාගේ උපදෙස් පරිදි පැනවූ මෙම තහනම එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරාගේ සිට පහළම නිලධාරියා දක්වා බලපැවැත්වෙනු ලබනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වනවිට නිලධාරීන් 704 දෙනෙකු සේවය කරන අතර මෙම කිසිඳු නිලධාරියෙකුට අවසරයකින් තොරව විදෙස්ගත වීම වළක්වමිනුයි අදාළ තහනම් නියෝගය නිකුත් කර තිබෙන්නේ. එසේම අදාළ නියෝගය කටුනායක ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ද යොමු කර තිබෙනවා.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඊයේ (24) දහවල් හදිසියේම ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබුණා. ඒ, සිය බිරිඳ සහ දරු තිදෙනා ද සමගයි. එසේම ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට නොදන්වා විදෙස්ගත වී ඇති බව අනාවරණ වී ඇති අතර පොලිස් මූලස්ථානය පැවසුවේ, නිශාන්ත ද සිල්වාට විදෙස්ගත වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිවාඩු ලබා දී නොමැති බවයි.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදී කී්ත් නොයාර් පැහැරගෙනගොස් පහර දීම ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විමර්ශන සිදුකර තිබුණා.