ජාතික මහා සඟ සමුළුව අමතමින් "සජිත්" කියපු වටිනාම දේවල් ! -PHOTOS- | Colombocall ජාතික මහා සඟ සමුළුව අමතමින් "සජිත්" කියපු වටිනාම දේවල් ! -PHOTOS- - Colombocall

Hot News

ජාතික මහා සඟ සමුළුව අමතමින් "සජිත්" කියපු වටිනාම දේවල් ! -PHOTOS-




– බුදු දහම උපයෝගි කරගනිමින් තේජවන්ත සද්ධන්ත මාතෘභුමියක් නිර්මාණය කරනවා. 
– ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ශක්තිය ව්‍යවස්ථාවට පමණක් සීමා නොකර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. 
– ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා උපයෝගි කර ගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටකේ ධර්ම සංඝායනාවක්.
– අඩුපාඩු නැති විහාරස්ථාන පද්ධතියක් ඉදිරි වසර පහේදී ශ්‍රී ලංකාව තුළ ඇති කරනවා.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවැති ජාතික මහා සඟ සමුළුව අමතමිනි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් මෙම මහා සඟ සමුළුවේදී දස වැදෑරුම් යෝජනාවලියක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කෙරුනි.

මහරගම තරුණ සේවා සභාවේ දී 11 දා පස්වරුවේ පැවැති මහා සඟ සමුළුවේදි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ කතාව පහතින්...

වන්දනීය, පූජනීය, ගෞරවනීය මහා සංඝ රත්නය මෙතනට වැඩම කරලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනාගත රජයක් විසින් ක්‍රියාත්මක කිරීමට බලා පොරොත්තු වන යෝජනාවලියක් ඉදිරිපත් කළා.

ඒ අනුව ආගමික සංවර්ධන ක්‍රියාදාමයත්, සිංහල බෞද්ධ අප මාතෘභුමියේ සම්බුද්ධ ශාසනයට හිමි සුවිශේෂි ස්ථාවරය ශක්තිමත් කිරීමටත් අප ගන්නාවූ පියවරයන් පිළිබදව මහා සංඝරත්නය ගෞරව පූර්වකව දැනුවත් කීරිමට මා මේ අවස්ථාව උපයෝගි කර ගන්නවා. විවිධ කරුණු කාරනා හේතුවෙන් අප ජන සමාජය තුළ බුදු දහම සම්බන්ධයෙන් තිබෙන විවිධ මති මතාන්තර, විවිධාකාරවූ මත ගැටුම් අපි හැමෝම සුවපත් කළ යුතුයි. එය එසේ කරන්නට වඩාත්ම වැදගත් ක්‍රමවේදය, බුදු දහම උපයෝගි කරගෙන සංහිදියාවේ පදනම වන බුදුදහමේ උතුම් ප්‍රතිපත්ති අනුගමනය කරමින්, ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සියලු ජන කොටස් එකතු කරමින් රටේ ස්වෛරිත්වය, භෞමික අඛන්ඩතාවය, ආරක්ෂාව, එකමුතුභාවය සුරැකෙන ආකාරයේ වැදගත් අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා.

අපේ මාතෘභුමියේ ඒකියභාවය ආරක්ෂා කරමින් ඉන් ලැබෙන ශක්තිය ස්ථාවරත්වය උපයෝගි කරගනිමින් තේජවන්ත සද්ධන්ත මාතෘභුමියක් නිර්මාණය කරන්න අපි සැදී පැහැදි සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහමට ලබාදී තිබෙන සුවිශේෂභාවය තවදුරටත් රැක ගනිමින් ව්‍යවස්ථාවෙන් ලැබුණු එම ශක්තිය ව්‍යවස්ථාවට පමණක් සිමා නොකර එය රටේ ආගමික ක්‍රියාදාමය තුල ප්‍රායෝගිකව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදි අපේ බුදුදහමේ උතුම් ප්‍රතිපත්තීන් අපට වැදගත් වෙනවා. බෞද්ධ රාජ්‍යයන් සමග ආර්ථික හා සංස්කෘතික සබදතා ඇති කරගනිමින් ආර්ථික සහයෝගීතා ඇති කරගනිමින් නව ආර්ථික කලාප නිර්මාණය කරමින් සම්බුද්ධ ශාසනය සුරකිමින් අපේ මාතෘභුමිය දියුණු කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා. අපි අවබෝධ කරගෙන තිබෙනවා අපට දැනෙනවා වර්ථමානය වන විට බුදු දහමේ ඇති කරනු කාරණා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා අතර විවිධ මත තිබෙන බවට. මම විශ්වාස කරනවා මේ විවිධ මත බුදු දහමේ අනාගත පැවැත්මට අහිතකර දෙයක් කියලා.

එම නිසා ධර්මධර, විනයධර උගත් භික්ෂූන් වහන්සේලා ඒකරාශි කර ගනිමින් රජයේ අනුග්‍රහය යටතේ ධර්ම සංඝායනාවක් පවත්වනවා. බුදු දහම හා බැදුනු පාලි භාෂාව ක්‍රමයෙන් අභාවයට යාම කණගාටුවට කරුණක්. නවීන භාෂා පුහුණු ක්‍රමවේදයන් හරහා පාලි භාෂාව තරුණ භික්ෂුන් වහන්සේලාට හා ඊට උනන්දුව දක්වන අයට පහසුවෙන් ඉගෙනගත හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට මම කැපෙනවා.

පුරාතනයේ පටන් අප අධ්‍යාපන දැනුමේ කේන්ද්‍රය වූවේ පිරිවෙනයි. පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරලා ඒ තුළින් සම්බුද්ධ ශාසනය රැක ගැනීමට කැප වෙනවා. අපි අදහස් කරනවා අලුත් ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයක් අප රට තුළ ස්ථාපිත කොට බෞද්ධ ශිෂ්ඨාචාරයේ කේන්ද්‍රස්ථානය බවට මේ රට පත් කරන්න. පුරා විද්‍යාත්මක බෞද්ධ ස්මාරකයන් පිළිබදව, පුරාවිද්‍යා සිද්ධස්ථාන ගැන මේ දිනවල කතා කරනවා. අපේ රටේ තිබෙන සියළු පුරාවිද්‍යා ස්මාරක ස්ථිරවම සුරකින ජාතික වැඩපිළිවෙලක් හදනවා.

රටේ භික්ෂූනි ශාසනය දියුණු කරමින් භික්ෂුණින්වහන්සේලාගේ හා දස සිල් මාතාවන්ගේ ආරාම පද්ධතිය දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ආගමික සිද්ධස්ථාන වැඩිදියුණු කිරිමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරමින් අප රටේ ආගමික ස්ථාන තුළ නව පුනර්ජිවනයක් ඇති කරනවා. අපේ රටේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම පිළිබදව කතා බහ කළාට පමණක් ප්‍රමාණවත් නැහැ. එය දේශනාවලට පමණක් සිමා කිරීමෙන්ද ඵලක් වන්නේ නැහැ. සම්බුද්ධ ශාසනය විධිමත් ක්‍රමවේදයක් තුළ ශක්තිමත් කරන්න ඔ්නේ. මේ සිංහල බොද්ධ රටේ සම්බුද්ධ ශාසනයට විශේෂ තැනත් තිබෙන නිසා ජාතික සංහිදියාවක් බිහි කොට සියලු ආගමිකයන් සමග එකමුතුකමින්, සහෝදරත්වයෙන්, රටක් ලෙස කටයුතු කරමින්, රට එක්සේසත් කොට, මොනම ආකරයකින්වත් රටට අහිතකර මතයක් රට තුළ නිර්මානය විම වැළැක්වීම මගින් සිංහල බෞද්ධ ශ්‍රී ලංකාව මේ රට තුළ ස්ථාපිත කරන්න පුළුවන්.

මම ආඩම්බරයෙන් මතක් කරනවා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බුදුදහමට කළ සේවය. එතුමා මේ ර‌ටේ බුදු දහම ස්ථාපිත කරන්න ගම්උදාවක් ගම්උදාවක් ගානේ චෛත්‍ය හදලා, දළදා මාලිගාවේ රන් වියන හදලා, ගරාවැටුණු මාලිගාවිල බුදුපිළිමය නැවත නැගුටුවලා බෞද්ධ පුනර්ජිවනයක් ඇති කළා. ප්‍රයෝගික බෞද්ධ නායකයෙකු ලෙස එතුමා කළ සේවය තව තවත් ශක්තිමත් කරමින් මේ ර‌ටේ බෞද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය බිහි කරනවා කියන ප්‍රතිඥාව මම අද දෙනවා.

සම්බුද්ධ ශාසනයට කුලදරුවන් පුජා කරවන මව්පියන් වෙනුවෙන් බුදුපුත් මාපිය කැපකරු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරනවා. කුලදරුවන් පුජා කරන දෙමාපියන්ට ඔවුන්ටම කියා නිවසක ජීවත් වීමේ වැඩසටහන මම ආරම්භ කළා. සිසුදහම් සෙවන වැඩසටහන යටතේ රාජ්‍ය අරමුදලින් ආගමික සිද්ධස්ථානවල දහම් පාසල් තුල ගොඩනැගිලි ඉදි කළා.

චෛත්‍ය රාජයාණන් නැති වෙහෙර විහාරස්ථානවලට චෛත්‍ය රාජයාණන්වහන්සේලා 1125 ක් ඉදිකිරිමේ වැඩසටහනට අමතරව අපි අදහස් කරනවා මේ රටේ ඌන සම්පත්වලින් පෙළෙන විහාරස්ථාන සොයා ගෙන ගරාවැටුනු කටුමැටි ධර්මශාලා ආවාස ගොඩනැගිලි තිබේ නම් ඒවා සොයා ගෙන ඒ සෑම විහාරස්ථානයකම අඩුපාඩු සම්පුර්ණ කරන්න. වසර 5 තුළ අඩුපාඩු නැති විහාරස්ථාන පද්ධතියක් සම්බුද්ධ ශාසනයට ලබා දෙන්න කටයුතු කරනවා. විපක්ෂයේ සිටියදි මම යෝජනාවක් ගෙනවා සෑම විහාර්ස්ථානයකටම උන සම්පත් තිබෙන විහාරස්ථාන පද්ධතිය විහාරයටම අනන්‍යවූ ආදායම් මාර්ගයක් බිහි කිරිමේ යෝජනාවක්. මොකද මගේ පියා අදහස් කළේ සෑම විහාරයකටම කුඹුරු අක්කර එකහමාරක සම්පතක් ලබාදිමටයි. එය දායක දායිකාවන් අඩු විහාරස්ථානයන්ට ශාසනික සේවයන් කරගෙන යාමට මහතා ශක්තියක්. එම වැඩසටහන ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට මමත් අදහස් කරනවා.

විවිධ දිස්ත්‍රික්කවල විවිධ පළාත්වල සම්පත් ඌණතාවය නිසා විහාරස්ථාන වැසී යන බවට අහන්න ලැබෙනවා. මම පොරොන්දු වෙනවා රටේ කිසිදු විහාරස්ථානයක් විනාශයට යන්න නොදි අපේ රටේ මුර දේවතාවන් වන ගෞරවනීය පුජනීය මහා සංඝරත්නයට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී එකදු විහාරස්ථානයක්වත් වැසි යන්නට නොදි අපේ විහාරස්ථාන පද්ධතිය අදටත් වඩා හෙට දිනයේ ශක්තිමත් කිරීමේ ජාතික සැලැස්මක් රාජ්‍ය වැඩසටහනක් ඇති කරන්න. අපි අපේ මව්බිමට ආදරෙයි අපේ මතෘභුමිය අපි පනටත් වඩා රකිනවා. රටේ ඒකීයභාවය, භෞමිකඅඛණ්ඩතාවය, ස්වෛරිත්වය, රටේ දේශපාලන නිදහස ජනතා පරමාධිපත්‍ය සුරැකිීමට මා දිවි හිමියෙන් කැප වෙනවා.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලබා දෙන ඉහලම ස්ථාවරය තවදුරටත් වැඩිදියුණු කරමින් කතාවට, දේශපාලනයට පමණක් සිමා වූ බෞද්ධ කම වෙනුවට, ප්‍රකාශනවල‌ට, දේශනවලට සිමාවුනු බෞද්ධතම වෙනුවට ප්‍රයෝගික ක්‍රියාදාමය තුලින් ඉතිහාසයේ කිසිදු ආකරයක ක්‍රියාත්මක නොවු ලෙස ශක්තිමත් කිරීමට අපේ අනාගත වැඩපිළිවෙල තුළ ප්‍රමුඛස්ථානය ලබාදී තිබෙන බව ගෞරවයෙන් සිහිපත් කරනවා. බුදු සසුන සදාකල් බැබලේවා බුදු සසුන් සදාකල් වැජබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.