චම්පිකගෙන් මහින්දට අභියෝගයක් ! විස්තරය මෙන්න | Colombocall චම්පිකගෙන් මහින්දට අභියෝගයක් ! විස්තරය මෙන්න - Colombocall

Hot News

චම්පිකගෙන් මහින්දට අභියෝගයක් ! විස්තරය මෙන්න





2010 වසර වන විට ඩොලර් මිලියන 1900ක්ව පැවති විදේශ ණය වාරික මේ වන විට ඩොලර් මිලියන 4500ක් බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් වැඩි පොළියට වාණිජ වෙළෙද පොළෙන් ණය ලබාගෙන ඇති නිසා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යය පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ ඊයේ (22) කොළඹ පදනම් ආයතනයේදී පැවති ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍යවේදීන්” යන හමුවේදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

”මේ වසරේ විදේශ ණය වාරිකය ගෙවන්න ඩොලර් මිලියන 4500ක් සොයාගන්න අපට සිදුවුණා. 2010දී අපි ගෙව්වේ ඩොලර් මිලියන 1900යි. මෙය මෙතරම් වැඩිවෙන්න ප‍්‍රධාන හේතුව, මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි පොළියට වාණිජ වෙළද පොළෙන් ණය ගැනීම. මම අභියෝගාත්මකව මහින්ද රාජපක්‍ෂට කියනවා මේ රජය සමයේ ගත් විදේශ ණය වලින් සියයට හැත්තෑවක් වැයවුයේ මහින්ද රාජපක්ෂ මහතා වාණිජ වෙළද පොළෙන් ගත් ණය ගෙවන්න. ඔහු එසේ නැහැ කියා සදහන් කරනවා නම් විවෘත වේදිකාවේ මේ ගැන කතා කරන්න මම අභියෝග කරනවා. ඔහු හිටපු මුදල් ඇමති. මම විවෘත වේදිකාවට ඔහුට කතා කරනවා. බරපතල ණය උගුලක තිබියදීත් රාජ්‍ය අංශයේ සෑම ක්ෂත‍්‍රයකම වැටුප් වැඩිකරන්න අප යොමුවුණා. පවුලක පොකට් එකට යන සල්ලි වෙනුවට මේ රටේ පවුල් පනස්පන් ලක්ෂක පොකට් එකට ඒ මුදල් ලැබෙන වැඩපිළිවලක් අපි ඇති කළේ.

රාජ්‍ය සේවය ස්වාධීන කොමිෂන් සභාවක් මගින් පාලනය වන තත්වයට පත්කළා. රාජ්‍ය සේවය නිදහස් කළා.පොලීසිය නිදහස් කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් පොලිස්පතිවරයා සාමාන්‍යය සේවකයෙකුට පහරක් එල්ල කළ විට ඔහු අත්අඩංගුවට ගත හැකි තත්වයට පත්කළා. පොලිස් කොමිසම හරහා එවන් නිදහසක් බලයක් ලබාදුන්නා. අධිකරණයට ලබා දුන් නිදහස නිසා ජනාධිපති වරයා අත්තනෝමතික ලෙසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරි වෙලාවේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න අධිකරණයට හැකියාව ලැබුණා. ජනාධිපති වරයාගේ අත්තනෝමතික ක‍්‍රියාවලියකට අගමැතිවරයෙක් කැබිනට්ටුවක් පත්කළා.ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අභියාචනා අධිකරණය මගින් එම ක‍්‍රියාවලිය නීති විරෝධී කළා.

මාධ්‍ය ආයතන වලට පහර දුන්න, මාධ්‍ය වේදින් ඝාතනය කරපු, මාධ්‍ය වේදීන් පැහැරගත්ත යුගයක් තිබුණා. මේ රටේ බුද්ධි අංශ දේශපාලන වශයෙන් ඝාතන හා අනෙකුත් දේවලට යොදාගත්තා. යුද්ධය අවසන් වන විට බුද්ධි අංශවල සිටියේ 6000යි. 2014 වන විට එය 12000යි. සාමය කාලේ මෙතරම් විශාල බුද්ධි අංශයක් ඇති වන්නේ කොහොමද? 48 දෙනෙක් අත් අඩංගුවට පත්වුණා. ඒ හැම හමුදා නිලධාරියෙක්ම යුද්ධය නිසා අත්අඩංගුවට පත්වුවන් නෙමෙයි. දේශපාලන පළිගැනීම් වලට යොදාගත් අය. පිරිස් අතුරුදහන් කරන්න, කප්පම් ගන්න යොදාගත් පිරිස.

ලසන්ත වික‍්‍රමතුංග, උපාලි තෙන්නකොන්, එක්නැලිගොඩ සිදුවීම ගැන සෑම සිදුවීමක් ගැනම සත්‍යය හෙළිව තිබෙනවා. නැවත මේ රට රාජපක්‍ෂවරුන්ගේ සිරගෙදරට යන්න ලෑස්තිද? බලහත්කාරයෙන් හෝ මුල්‍යය ශක්තිය භාවිතා කරමින් සිදුකරන මාධ්‍ය පාලනයට ලෑස්තිද?

මේ ජනාධිපතිවරණ මැතිවරණය තුළ පාර්ලිමේන්තු මැතිවරණය හා පලාත් සභා මැතිවරණය පවතිනවා. මේ නිසා මේ ජනාධිපතිවරණය තුළින් මේ රටේ අවුරුදු පහක ස්ථාවරත්වය තීරණය කිරීමේ හැකියාව තිබෙනවා. රටේ පාලනාධිකාරය තුළ තිබු වියවුල නිමාවෙන මැතිවරණයක් මෙය. මේ නිසා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කළ යුතුයි.

ඒ වගේම අපි, වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදි තරුණ ප‍්‍රජාවකට ඉඩ විවර කරන අනාගතයක් වෙනුවෙන් කටයුතු කරමු.” යැයි සඳහන් කර සිටියා.