විශ්‍රාමික දුම්රිය රියැදුරන් අද(30) සිට යළි සේවයේ ! | Colombocall විශ්‍රාමික දුම්රිය රියැදුරන් අද(30) සිට යළි සේවයේ ! - Colombocall

Hot News

විශ්‍රාමික දුම්රිය රියැදුරන් අද(30) සිට යළි සේවයේ !





වැටුප් විෂමතා ගැටළුව මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය  අද (30) පස්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

 මේ හේතුවෙන් ප්‍රමාද වන දුම්රිය කටයුතු පවත්වාගෙන යාම සදහා විශ්‍රාමික දුම්රිය රියැදුරන් අද සිට දුම්රිය සේවා කටයුතු වෙනුවෙන් යොදවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

මෙම වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති අපේක්ෂාවෙන් බලා සිටින කැබිනට් අනුකමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිත අතර එහිදී ලැබෙන තීරණය මත සිය වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කරන්නේ. එහිදී තීරණයක් නොලැබුණහොත් මෙම වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

සාමාන්‍යයෙන් දෛනිකව පෙරවරුවේ කාර්යාලයීය දුම්රිය  30 ක් ධාවනය වන අතර  අද උදෑසන කාර්යාල දුම්රිය 10 ක් පමණ ධාවනය කිරීමට ද කටයුතු යොදා තිබුණා.

මේ අතර මෙම වෘත්තීය සමිති ගැටළුව සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුවේ සාමාජික, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරද අදහස් දැක්වුවා.

 එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙම වෘත්තීය අරගලය පිටුපස  දේශපාලන හස්තයක් ඇති බව පැහැදිළිව පෙනෙන්නටඇති බවත්, මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි  අරගල සිදු කිරීම නුසුදුසු බවත්ය. එසේම රජය  විධායක ශ්‍රේණියට 130%කින් 140%කින් පඩි වැඩි කර ඇති බවත් ජනතාවට මේ කාරණය පැහැදිළි කිරීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.