බුර්කාව ගලවා සේවයට වාර්තා කරන්න කියපු හින්දා වෛද්‍යවරිය ඉල්ලා අස්වීම භාර දීලා ! | Colombocall බුර්කාව ගලවා සේවයට වාර්තා කරන්න කියපු හින්දා වෛද්‍යවරිය ඉල්ලා අස්වීම භාර දීලා ! - Colombocall

Hot News

බුර්කාව ගලවා සේවයට වාර්තා කරන්න කියපු හින්දා වෛද්‍යවරිය ඉල්ලා අස්වීම භාර දීලා !






බුර්කාව ගලවා සේවයට වාර්තා කරන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියක් වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයි රෝහල් ආරංචි පවසනවා.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙම වෛද්‍යවරිය දින කිහිපයක් බුර්කාව පැළද සේවයට වාර්තා කර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

එම වෛද්‍යවරිය බාහිර ප්‍රතිකාර ඒකකයේ රාජකාරියට පැමිණි අවස්ථාවේදී ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ලබාගැනීමට අකමැත්ත පළ කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා.

අනතුරුව එම වෛද්‍යවරියගේ පියා රෝහලට කැදවා මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් දැනුවත් කර තිබෙනවා. පසුව පියා සමග රෝහලෙන් පිටව ගිය මෙම වෛද්‍යවරිය මැයි මස 2 වනදා සිට සේවයට වාර්තා කර නොමැති බවයි හෝමාගම රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මෙම වෛද්‍යවරිය රෝහල් බලධාරීන් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් අසනීප තත්ත්වයකින් පෙළෙන බවයි.

මේ සම්බන්ධයෙන් අප හෝමාගම මූලික රෝහලේ, රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා.

ඔහු කියාසිටියේ මීට සති දෙකකට පමණ පෙර එම වෛද්‍යවරිය සේවයෙන් ඉල්ලා අස්වීම සදහා වූ ලිපියක් තමන් වෙත භාරදුන් බවයි. කෙසේ වෙතත් එහි කිසිදු හේතුවක් සදහන් කර නොමැති බවද රෝහල් අධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළා.

අදාළ ලිපිය  ලැබීමෙන් පසු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි  වැඩිදුරටත් පැවසුවේ.