ප්‍රංශ දේවස්ථානයේ ඇති වූ ගින්නේ නොදුටු දසුන් මෙන්න (PHOTOS/VIDEO) | Colombocall ප්‍රංශ දේවස්ථානයේ ඇති වූ ගින්නේ නොදුටු දසුන් මෙන්න (PHOTOS/VIDEO) - Colombocall

Hot News

ප්‍රංශ දේවස්ථානයේ ඇති වූ ගින්නේ නොදුටු දසුන් මෙන්න (PHOTOS/VIDEO)





ප්‍රංශයේ අගනුවර වන පැරීසියේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන නෝට්‍රේ ඩේම්  (අපේ මව දේවස්ථානය) කතෝලික දේවස්ථානයේ වහලය පිහිටි ප්‍රදේශයේ හටගත් ගින්නක් හේතුවෙන් වහලය අයත් කොටස් ගින්නෙන් දැවී විනාශ වුණා.

මේ වන විට වහලය අයත් කොටසේ භාගයක් පමණ හා එහි සවිකර ඇති ප්‍රධාන සීනුවද ගින්නට අසුවී විනාශ වී තිබෙනවා.

සිව්වැනි සියවසට අයත් පෞරාණික සුප්‍රසිද්ධ ස්ථානයක් වූ මෙම දේවස්ථානයේ වහලය අළුත්වැඩියා කිරීම සඳහා මේ දිනවල කටයුතු සිදු වෙමින් පැවතුණා.

ඒ අතර 15 වෙනි සදුඳා සවස 6.30 ට පමණ දේවස්ථානයේ සවිකර ඇති ගිනි ආරක්ෂිත නලා නාද වූ අතර 6.45 පමණ වන විට මෙම ගින්න පැතිරී තිබෙනවා.

ඒ වනවිට අළුත්වැඩියා වැඩ බිමේ සේවකයෝ එදින වැඩ අවසන් කර නිවෙස් බලා ගොස් සිටි අතර ගින්න ආරම්භ වන මොහොතේ පවා විශාල සංචාරකයන් සංඛ්‍යාවක් එය නැරඹීමට පැමිණ සිටියා.

ඔවුන් සියල්ලෝම ආරක්ෂාකාරී ලෙස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළා.

පැරීසියේ ගිනි නිවන භටයෝ 200ක් පමණ මෙම ගින්න මැඩ පැවැත්වීමට යෙදී සිටි අතර අද (16) අලූයම 2.00 වන විට බොහෝ දුරට ගින්න පාලනය කිරීමට හැකි වුවද ඒවන විට දේවස්ථානයේ වහලය මත සිට අහසට විහිදුණු ඊතලය වැනි ඇති පෞරාණික කොටස සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී තිබුණා.

ප්‍රංශයේ  හදවත ලෙස සලකන මෙම දේවස්ථානය ප්‍රංශ ගෘහ නිර්මාණ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී ඇති නිර්මාණයකි.

ඉපැරණි ප්‍රංශ ගොතික් කලාවෙන් පරිපූර්ණ අති විශිෂ්ඨ ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ වලින් යුත් මෙම දේවස්ථානයේ ඉදිකිරීම් වර්ෂ 1163 දී ආරම්භ කර වර්ෂ 1345දී අවසන් කර තිබෙනවා.

මේ සඳහා වසර 200 කට කාලයක් වැය කොට තිබෙනවා.

ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ ජාතික නවකතාකරුවෙකු, කවියකු, නාට්‍ය රචකයකු වන වික්ටර් හියුගෝ විසින් රචිත, වර්ෂ 1831දී ප්‍රකාශයට පත්කෙරුණු, නෝත්ර දාම් ඬේ පැරී (පැරීසියේ අපේ මව) නම් ලෝක ප්‍රසිද්ධ ඵෙතිහාසික නව කථාව හේතුවෙන් මෙම දේවස්ථානයතව තවත් ලෝක අවධානය දිනා ගත්තා.

දැනට සිදුවී ඇති අලාභය පිළිසකර කිරීම සඳහා යුරෝ මිලියන 150 ක් (රුපියල් කෝටි 30,000 ක් ) පමණ වැය වන බව බලධාරීන්ගේ මතයයි.

පැරීසියේ අයිෆල් කුළුනට පසුව සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් නරඹන ස්ථානය මෙම දේවස්ථානය පත්ව තිබෙනවා.

වසරකට සංචාරකයෝ ලක්ෂ 140 ක් පමණ මෙය නැරඹීමට පැමිණෙන බව සංචාරක වාර්තාවල සඳහන්වනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටැවූ පස්වන ප්‍රංශ ජන රජයේ ප්‍රථම ජනාධිපති ජෙනරාල් චාර්ල්ස් ඩිගෝල්, හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් පොම්පිඩූ මෙන්ම ප්‍රංශුවා මිතොරොන්ග් මියගිය පසු ඔවුන්ගේ අවසන් ආගමික කටයුතු සිදු කළේද මෙම දේවස්ථානයේයි.

දේවස්ථානය ගිනිගත් 15 වන සඳුදා දිනයේ රාත්‍රී 8.00 ට ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ කතාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණද දේවස්ථානයේ ඇතිවූ ගින්න හේතුවෙන් ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම අවලංගු කළ බව ජනාධිපති කාර්යාලය දැනුම් දුන්නා.

රාත්‍රී 11.30ට පමණ දෙවන වරටත් ජනාධිපතිවරයා සිය බිරිඳ බ්‍රිජිට් මැක්රොන් සමඟ නිරීක්ෂණ චාරිකාවක යෙදුනේය. ඒවන විටත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට නොහැකිවී තිබුණා.

මෙම විනාශය සැළවූ වහාම ඇමෙරිකානු ජනාධිපති, ජර්මන් චාන්සල්වරිය, බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුට්රෙස්, ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල්, සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක  බ්‍රසීල ජාතික නෙයිමාර් යන අය විසින් අපට හිමිව තිබු යුරෝපයේ ලෝක උරුමයක් විනාශ වීම ගැන තම කනගාටුව පලකරන නිවේදන නිකුත් කර තිබුණා.

ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීම සඳහා විශේෂ දැනුම ඇති කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇතත්, මේවන විටත් ගින්නට ආසන්නම හේතුව සොයා ගැනීමට අපොහෝසත් වී තිබෙනවා.