ඉදිරි සති දෙක ඇතුලත මධුෂ් ලංකාවට ! නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දැනුම් දෙයි | Colombocall ඉදිරි සති දෙක ඇතුලත මධුෂ් ලංකාවට ! නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දැනුම් දෙයි - Colombocall

Hot News

ඉදිරි සති දෙක ඇතුලත මධුෂ් ලංකාවට ! නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දැනුම් දෙයි










ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකදුරේ මධුෂ් ඉදිරි සති දෙක ඇතුලත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අද (09) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හට දැනුම් දෙනු ලැබුවා.

 ඒ ප්‍රභූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී.

මාකදුරේ මධුෂ් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත්ව කටයුතු සිදුකරනු ලබන බවත් පරීක්ෂණ වලදී හෙළිවූ කරුණු සම්බන්ධයෙන් හෙළි නොකරන්නේ එය පිටස්තර පාර්ශවයන් වෙත දැනගන්නට ලැබීමෙන් ඉදිරි විමර්ශන සඳහා බාධාවක් වන නිසා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.

මේ අතර පසුගිය සතියේදී විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ පෙලේ නිලධාරියෙක් අබුඩාබි හිදී එරට විදේශ කටයුතු ඇමතිවරයා මුණ ගැසී තිබෙනවා.

එම අවස්ථාවේදී මාකදුරේ මධුෂ් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් එරට විදේශ කටයුතු අමාත්‍යවරයාට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

එම වාර්තාවට අනුව මධුෂ් විසින් මිනීමැරීම් 10ක්, මිනීමැරීමට තැත් කිරීමේ සිද්ධින් 03ක්, නීතිවිරෝධී ගිනි අවි ළඟ තබා ගැනීමේ සිද්ධි 02ක් සහ ඝාතන කුමන්ත්‍රණ සිද්ධින් 18ක් සම්බන්ධයෙන් මෙරටට අවශ්‍යව සිටින සැකකරුවෙක් බවට කරුණු දක්වා තිබෙනවා.

එමෙන්ම ඔහුට එරෙහිව මෙරට අධිකරණයන් මගින් විවෘත වරෙන්තු 04ක් සහ ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තුවක් ද නිකුත් කර ඇති බව කරුණු දක්වා ඇති බව සඳහන්.

එමෙන්ම මාකදුරේ මධුෂ් ඩුබායි රාජ්‍යට පැමිණ ඇත්තේ එරට ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ව්‍යාජ නමකින් යුත් 
විදෙස් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අබුඩාබි බලා ගිය ජේෂ්ඨ නිලධාරියා එරට විදේශ කටයුතු අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.