ලෝක කුසලානයට නායකත්වය දීමට "දිමුත් කරුණාරත්න" ට අවස්ථාවක් ! | Colombocall ලෝක කුසලානයට නායකත්වය දීමට "දිමුත් කරුණාරත්න" ට අවස්ථාවක් ! - Colombocall

Hot News

ලෝක කුසලානයට නායකත්වය දීමට "දිමුත් කරුණාරත්න" ට අවස්ථාවක් !






දකුණු අප්‍රිකාව සමග පැවත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය දැනටමත් 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වී තිබීමත් සමග නැවතත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම දක්වන දුර්වල ක්‍රීඩා විලාසය ගැන ක්‍රීඩා ලෝලීන්ගේ මෙන් ම ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලබා එක්දින තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් ලබා ගත් ජයග්‍රාහී මානසිකත්වය අහිමි කර ගනිමින් මේ වන විට තමන් ක්‍රීඩා කළ තරග තුනෙන් ම පරාජයට ලක්ව තිබෙනවා.

මැයි මස 30 වන දා එංගලන්තයේදී ඇරඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් එක්දින තරගාවලිය මෙය වන අතර ශ්‍රී ලංකා පිළේ අඩුපාඩුවලට පිළියම් සොයා ගත හැකි තරගාවලියක් ලෙස එය හැඳින්විණි.

කෙසේ වෙතත් මේ වන විට පෙනෙන්නට තිබෙන ආකාරයට මෙම තරගාවලිය තවත් ප්‍රශ්නාර්ථ රැසක් සමගින් අවසන් වීමට නියමිතය.

ලසිත් මාලිංග නායකත්වයට සුදුසු ද?

අසාර්ථක වූ කණ්ඩායමේ උපනායක නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානයක් දිය හැකි ද?

දික්වැල්ල ඉවත් කරන්නේ නම් කඩුලු රකින්නේ කවුද?

ආරම්භක පිතිකරුවන් කවුද?

අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග ඊට සුදුසු ද?

තිසර පෙරේරාට අංක 7 ක්‍රීඩා කළ හැකි ද?

අකිල ධනන්ජය නව පන්දු යැවීමේ ඉරියව්ව සමග සාර්ථක ද?

වේග පන්දු යවන්නන් කවුද? කුසල් ජනිත්ට නැවතත් ආබාධයක්? මේ ආකාරයෙන් ප්‍රශ්න රාශියක් දැනටමත් ක්‍රීඩා ලෝලීන් මෙන් ම ක්‍රීඩා විචාරකයන් සමාජ මාධ්‍යවල මතු කර තිබේ.

දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලි ජයක් සඳහා ශ්‍රී ලංකාව මෙහෙය වූ දිමුත් කරුණාරත්න, ඉදිරි ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් එක්දින කණ්ඩායමට කැඳවීම ගැන සලකා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. ඒ, අවශ්‍යතාවක් ඇති වුවහොත් ශ්‍රී ලංකා කාණ්ඩායම මෙහෙයවීමට ඔහුට භාර කිරීමේ අරමුණින්ය.

සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරග පමණක් ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක් ක්‍රීඩා කළේ, 2015 ලෝක කුසලානයේදීය. මෙම කාලවකවානුවේ ටෙස්ට් තරග නොමැති නිසා දිමුත් කරුණාරත්න එංගලන්ත හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගත කර ගෙන තිබිණි. කෙසේ නමුත් දැන් වාර්තා වන්නේ ලෝක කුසලාන සංචිතය තේරීමේ අරමුණින් පැවැත්වෙන තරග සඳහා සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට දැනුම් දී ඇති බවය.

කෙසේ වෙතත් ඒ සඳහා පුහුණු තරගවලදී දිමුත් කරුණාරත්න ලකුණු අතරට පැමිණීම අත්‍යවශ්‍ය වනු ඇත.

මන්ද ඔහු අවසන් වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2015 වසරේදී වීම නිසාය. දිමුත් කරුණාරත්න එක්දින තරගවලට යොදා ගැනීමට බලාපොරොත්තුවක් තිබුණේ නම් ඔහු දකුණු අප්‍රිකානු එක්දින තරගවලට නොයෙදුවේ ඇයි ද? යන්න මේ දිනවල සමාජ මාධ්‍යවල ක්‍රීඩා ලෝලීන් මතු කර තිබූ ගැටලුවකි.

උපුටා ගැනීම BBC