කෝටි 70 ක පිලිමය නිසා හාමුදුරුවන්වත් පැහැරගත්තු පව්කාරයෝ ! සම්පූර්ණ විස්තරය මෙන්න | Colombocall කෝටි 70 ක පිලිමය නිසා හාමුදුරුවන්වත් පැහැරගත්තු පව්කාරයෝ ! සම්පූර්ණ විස්තරය මෙන්න - Colombocall

Hot News

කෝටි 70 ක පිලිමය නිසා හාමුදුරුවන්වත් පැහැරගත්තු පව්කාරයෝ ! සම්පූර්ණ විස්තරය මෙන්න






  පසුගියදා කෝටි 70 ක දඹ රන් පිළිමයක් එකවරම අතුරුදන් විය. බුදුපිළිමය පැහැරගෙන යෑමට සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් නාරාහේන්පිට එක්තරා නිවසකට පැමිණියහ. ඔවුන් පැහැරගෙන ගියේ දඹ රන් පිළිමය පමණක් නොව 61 හැවිරිදි ස්වාමින් වහන්සේ නමක් ද බලෙන්ම ඩිෆෙන්ඩර් රථයට දමාගෙන පලා ගියහ.

මෙම දඹ රන් පිළිමය මතුරට ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් විසින් නාරාහේන්පිට ප්‍රදේශයේ එක්තරා නිවසකට ගෙනවිත් දී ඇත. මෙම පිළිමය අඟල් 18 ක් පමණ උසැති කිලෝ 25 ක් පමණ බරින් යුතුය. කෝටි 70 ක මෙම දඹ රන් පිළිමය සොරකම් කරන්නට හයදෙනකුගෙන් යුත් කල්ලියක් කාලයක් තිස්සේ පිඹුරුපත් සැකසූහ. ඔවුන්ට අවශ්‍ය එම පිළිමය විකුණා මුදල් ලබාගන්නටය. 

එක රැයකින් කෝටිපතියන් වෙන්නට තියෙන ආශාව නිසාම කල්ලියේ සියලූම දෙනා මෙම ක්‍රියාවට එක පයින් කැමති වී ඇත. දඹ රන් පිළිමය සහ ස්වාමින් වහන්සේගේ අතුරුදන් වීම පිළිබඳව නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පැහැර ගැනීමට ලක් වූ හිමිනමගේ විහාරස්ථානයේ සේවකයකු විසිනි.
මෙම කල්ලියට ඇත්තේ මෙම දඹ රන් පිළිමය සොරකම් කිරීමේ චෝදනාව පමණක් නොවේ පුරාවිද්‍යා වටිනාකමකින් යුතු මහනුවර යුගයට අයත් මිල කළ නොහැකි සමාධි බුද්ධ ප්‍රතිමාවක් පැහැරගෙන විනාශ කිරීම යන බරපතළ චෝදනා ඇතුළු චෝදනා 24 ක් මෙම සොර කල්ලියට එල්ලවී ඇත. 

කොළඹ අපරාධ කොට්ඨාසය මෙම චූදිතයන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත. ඒ අනුව මෙම පුද්ගලයන් අදාළ චෝදනාවලින් පළමු සහ දෙවැනි චෝදනාවන්ට වරද පිළිගෙන ඇත. මෙම පිරිස වරද පිළිගත් නිසා බරපතළ වැඩ සහිතව වසර 04 ක සිර දඬුවමක් මෙම චූදිතයන් පිරිසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියම කර ඇත. සමාධි බුද්ධ ප්‍රතිමාව පැහැර ගැනීම සහ විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම පිරිසට එක් අයකුට චෝදනාවකට රුපියල් 40,000 ක් බැගින් චෝදනා දෙකටම රුපියල් 80,000 ක දඩ අධිකරණය නියම කර ඇත.
ඒ අනුව මෙලෙස සිර දඬුවම් නියම වූයේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි ඇන්ඩෘ ලක්ෂිත, මහරගම පදිංචි දොන් නිශාන්ත කුමාර, මිනුවන්ගොඩ පදිංචි නවමුනි ආරච්චිගේ ගයාන් මධුසංඛ, මිනුවන්ගොඩ පදිංචි සෙම්බුකුට්ටි ආරච්චිගේ ලෙස්ලි ජූඞ් (හිටපු පොලිස් කොස්තාපල්), මිනුවන්ගොඩ පදිංචි මුදිත උදාර සම්පත් සහ මහරගම පදිංචි චින්තක රුවන් (ලොතරැයි අලෙවිකරු) යන පුද්ගලයන්ටය. මෙම සැකකරුවන් පිරිස පැමිණිලි පාර්ශවය වූ හිමිනම පැහැරගෙන ගොස් බොරලැස්ගමුව ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වී ඇත. 

කුමන හේතුවකට කුමන පදනමක් මත මෙම ස්වාමින් වහන්සේ පැහැරගෙන ගියා දැයි හෙළිවී නැත. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂක පොලිස් අධිකාරි ප්‍රියන්ත ද අල්විස්, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් සිල්වා එහි සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක දුනුසිංහ, පොලිස් සැරයන් (3856) ප්‍රියන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (90242) කුමාර, (84333) වික්‍රමනායක (77036) රත්නායක යන නිලධාරීහු මෙ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූහ.
ලංකාවේ සොරකම් කළ ප්‍රථම දඹ රන් පිළිමය මෙය නොවන බව කිව යුතුය. මෙවැනි සිදුවීම් ඕනෑ තරම් වාර්තා වී ඇත. රට පුරා මෙවැනි සංවිධානාත්මක කල්ලි නිරන්තරයෙන් මංකොල්ල කෑම්වල නිරත වන්නේ රට තුළ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොකරන නිසා බව අට පහ නොතේරෙන පොඩි දරුවකු පවා දැන් දන්නා කාරණයකි. 

මෙවැනි පුද්ගලයන් වසර කිහිපයක් සිරගත වී සිටියත් නැවතත් එළියට පැමිණි පසු පටන් ගන්නේ පරණ රස්සාවමය. අපේ රටේ ඉතිහාසයේ සිටම තිබුණේ පද්ධතියේ අවුලය. දැන් ඉතින් කරන්නට දෙයක් නැත අශ්වයා ගිය පසු ඉස්තාලය වහලා වැඩක් නැත. මෙවැනි සිදුවීම් පිළිබඳව සඳහන් කරන විට මගේ සිහියට නැගුනේ කඩුගන්නාවේ මාවෙල ලෙන් විහාරයේ විහාර දොරටුව අසල සවිකර තිබූ හරි අපූරු දැන්වීම් පුවරුවකි. ඒ දැන්වීම් පුවරුව සවිකර තිබුණේම නිදන් හොරුන්ට කියවන්නටය. ‘‘ලෙන තුළ ඇති දාගැබ සහ බුද්ධ ප්‍රතිමා කිහිපවරක්ම නිදන් හොරු කඩා බිඳ දමා ඇති බවද ඒවායේ කිසියම් පුරාවස්තූන් තිබුණත් ඔවුන් එය රැගෙන ගොස් ඇති නිසා දැන් සොරුන්ට ගැනීමට මෙහි කිසිවක් නැති බව’’ එම දැන්වීමේ සඳහන්ව තිබිණි. ඒ මාවෙල ලෙන් විහාරයට පැමිණි නිදන් හොරු මෙය කියවා නැවත හැරී ගියත් වෙනත් විහාරස්ථානවලට නම් ඉපැරණි ස්ථානවලට නම් මේ තක්කඩි රැළගෙන් බේරුමක් නැත.

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි පුරාවස්තු වැඩි ප්‍රමාණයක් සොරකම් කරන්නේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලිනි. පුරාවස්තුවලට ලොව සෑම රටකම ඇත්තේ ඉහළ ඉල්ලූමකි. ලංකාවේ ද එය එසේමය. අපේ රටේ පුරාවස්තු තොගපිටින් පැන්නුයේ යටත් විජිත යුගයේය. වර්ෂ 1815 මාර්තු 2 වැනිදාට පෙර කාලයට අයත් වන සියලූම චංචල සහ නිශ්චල දේපළ පුරාවස්තු ලෙස හැඳින්වෙයි.
පුරාවස්තුවකට හානි පැමිණවීම බරපතළ වරදකි. තමන්ට උරුමයන් වනසේ ලැබුණු පුරාවස්තුවක් ළඟ තබාගැනීම වරදක් නොවේ. එහෙත් පුරාවස්තු රටින් පිටතට ගෙන යෑම හෝ විදේශිකයන්ට අලෙවි කිරීම නීති විරෝධීය. පුරාවස්තු සංහාරය ඉහළ යෑමට බලපාන ප්‍රමුබතම කරුණක් ලෙස ඒ සඳහා ලැබෙන දඬුවම් ප්‍රමාණවත් නොවීම සඳහන් කළ හැකිය. 1998 පුරාවස්තු සංශෝධන පනතට අනුව රුපියල් 50,000 නොඉක්මවන දඩයකට හෝ අවුරුදු 2-5 අතර සිර දඬුවමකට හෝ ඒ දඬුවම් දෙකටම යටත් කළ හැකිය. පුරාවස්තු පනත යටතේ චෝදනා ලැබූ චූදිතයන්ට ඇප ලබාදෙන්නේ නැත. නමුත් දැන් මේ පනත යල් පැන ගිය එකක් බවට පත්ව ඇත. නිදන් ඇතැයි තණ්හාවෙන් පුරාවස්තු වනසන හොරුන්ට ලැබෙන නිධානයක් නැත. එහෙත් මෙම මිථ්‍යාව සමාජයෙන් තුරන් කිරීමට ලෙහෙසි නැත.

 නිදන් හාරා විකුණා පොහොසත් වූ කෙනෙක් මේ රටේ නැත. අන්තිමට මෙවැනි හොරුන්ට වෙන්නේ සුප්‍රකට කෞතුකාගාර සොරකම කළ කන්ගැට්ටාට සිදුවූ දෙයමය. ඔහුටත් සිදුවූයේ කටුගෙයින් සොරකම් කළ කඩු කෑලිවලට ගලවා කුණු බක්කියට දැමීමය. 

මෙවැනි නිදන් වස්තු වලින් ක්‍ෂණික ධනවතුන් වීමට සිහින මවනවාට වඩා වෙනත් ස්වයං රැකියාවක් කර දියුණු වීමට උත්සාහ කිරීම වඩා යහපත්ය. අඩුම තරමේ එය නම්බුකාරය. රටේ නම ගිය හොර දෙටුවන් වනවාට වඩා එය සිය දහස් ගුණයකින් වටියි.