පිළිකා සෛල පමණක්‌ නැසීමට බෙහෙත් සොයාගෙන ලෝකයේම අවධානයට පාත්‍ර වූ ගෝමික උඩුගමසූරිය ( PHOTOS) | Colombocall පිළිකා සෛල පමණක්‌ නැසීමට බෙහෙත් සොයාගෙන ලෝකයේම අවධානයට පාත්‍ර වූ ගෝමික උඩුගමසූරිය ( PHOTOS) - Colombocall

Hot News

පිළිකා සෛල පමණක්‌ නැසීමට බෙහෙත් සොයාගෙන ලෝකයේම අවධානයට පාත්‍ර වූ ගෝමික උඩුගමසූරිය ( PHOTOS)



පිළිකා සෛල පමණක්‌ ඉලක්‌ක කරගත් ප්‍රතිකාර ක්‍රම සහ පිළිකාව මුල් අවස්‌ථාවේ දී ම හඳුනාගැනීමේ ක්‍රම කෙරෙහි දැන් බටහිර පර්යේෂකයන් ගේ අවධානය යොමු වී තිබේ. එය හඳුන්වන්නේ Targeted molecular therapy
and diagnosis නමිනි. මේ පර්යේෂණ ක්‌ෂේත්‍රය ඔස්‌සේ යමින් පිළිකා සෛල පමණක්‌ විනාශ කර දැමිය හැකි සංයෝග හඳුනාගත හැකි ක්‌ෂණික අඩු වියදම් සරල තාක්‌ෂණයක්‌ සොයා ගැනීමට ද ඒ ඇසුරෙන් පිළිකා සෛලවලට පහර දීමේ හැකියාවක්‌ ඇති සංයෝග කිහිපයක්‌ හඳුනාගැනීමට ද ශ්‍රී ලාංකික පර්යේෂකයෙක්‌ සමත් වී සිටියි. ඔහු ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ටෙක්‌සාස්‌ විශ්වවිද්‍යාලයයේ සවුත්වෙස්‌ටර්න් වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු වන ආචාර්ය ගෝමික උඩුගමසූරියයි. 1999 වර්ෂයේ කොළඹ විශ්විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිsබඳ විශේෂවේදී උපාධියක්‌ දිනූ ඔහු 2001 වසරේ දී ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මිචිගන්හි වේයින් ස්‌ටේට්‌ විශ්වවිද්‍යාලයට ඇතුළු වී ආචාර්ය උපාධිය හැදෑරුවේ ය. 2006 වර්ෂයේ දී ආචාර්ය උපාධිය දිනා ගැනීමෙන් පසු පශ්චාත් ආචාර්ය පුහුණුව සඳහා ටෙක්‌සාස්‌ විශ්වවිද්‍යාලයයේ සවුත්වෙස්‌ටර්න් වෛද්‍ය පීඨයට සම්බන්ධ වූ ආචාර්ය ගෝමික උඩුගමසූරියට 2009 වර්ෂයේ දී එම විශ්වවිද්‍යාලයයෙන් මහාචාර්ය ධුරයක්‌ පිරිනැමිණ.
ඔහු සමග අප කළ සංවාදයකි මේ. ...
ඔබේ පර්යේෂණය ගැන කෙටියෙන් පැහැදිලි කළොත්?
මේ පර්යේෂණය මගේ පශ්චාත් ආචාර්ය පුහුණුව (Post doctoral research) සඳහා කළ එකක්‌. එය 2008 වර්ෂයේ දී American Chemical
Society සඟරාවේ ප්‍රකාශයට පත් වුණා. මේ පර්යේෂණයේ දී වැදගත් සොයා ගැනීම් දෙකක්‌ කරන්න මට පුළුවන් වුණා. එකක්‌ තමයි පිළිකා සෛලවලට පමණක්‌ බැඳිලා ඒවා විනාශ කර දමන සංයෝග කිහිපයක්‌ සොයා ගන්න හැකි වීම. මේ සංයෝග ප්‍රොaටීන කාණ්‌ඩයට අයත් "පෙප්ටොයිඩ්" කියන අණු වර්ගය වීම තමයි මෙහි තිබෙන විශේෂත්වය. සාමාන්‍යයෙන් ප්‍රොaටීන කාණ්‌ඩයේ අනෙකුත් අණු ආහාර මාර්ගයේ දී ජීර්ණය වීමට ලක්‌ වෙනවා. ඒත් පෙප්ටොයිඩවල විශේෂ ලක්‌ෂණයක්‌ තමයි ආහාර මාර්ගයේ ඇති එන්සයිම නිසා ජීර්ණය නො වී පැවතීම. ඒ නිසා පෙප්ටොයිඩවලින් යම්කිසි ප්‍රතිපිළිකා ඖෂධයක්‌ නිපදෙව්වොත් ඒවා මුඛ මාර්ගයෙන් ලබා ගත හැකි වීම විශේෂ වාසියක්‌ විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ සමග ම ඒවායින් විනාශ කරන්නේ පිළිකා සෛල විතරක්‌ නිසා එයින් ඇති වන අතුරු ආබාධත් අඩුයි. ඒත් ලක්‌ෂ ගණනක්‌ පෙප්ටොයිඩ් සංයෝග අතරින් පිළිකා සෛලවලට පමණක්‌ බැඳෙන පෙප්ටොයිඩ් සංයෝග මොනව ද කියල හඳුනාගන්න පුළුවන් කාර්යක්‌ෂ්ම තාක්‌ෂණයක්‌ මෙතෙක්‌ කල් තිබුණේ නැහැ. මගේ පර්යේෂණයේ දී එම සංයෝග වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් සරල කාර්යක්‌ෂ්ම තාක්‌ෂණයක්‌ සොයා ගන්නත් පුළුවන් වුණා. ඉහත කියපු පෙප්ටොයිඩ සංයෝග මම හඳුනා ගත්තේ ඒ තාක්‌ෂණයේ උදව්වෙන්.
 තාක්‌ෂණය සරලව හඳුන්වන්න පුළුවන් කොයි විදිහට ද?
ඇත්තට ම මේ තාක්‌ෂණය හරි ම සරලයි. අඩු වියදම් සහිතයි. එයට කිසි ම අධි තාක්‌ෂණික උපකරණයක්‌ අවශ්‍ය වුණේ නැහැ. මේ සඳහා විශේෂිත උපකරණයක්‌ විදිහට අවශ්‍ය කරන්නේ ප්‍රතදීප්ත වර්ණ හඳුනාගන්න පුළුවන් අණ්‌වීක්‌ෂයක්‌ විතරයි. මම කළේ පිළිකා සෛල එක්‌ ප්‍රතිදීප්ත වර්ණයකිනුත් (රතු), සාමාන්‍ය සෛල තව ප්‍රතිදීප්ත වර්ණයකිනුත් (කොළ) වර්ණ ගන්වා ඒවා මිශ්‍ර කර මිලියන ගණනක්‌ විවිධ පෙප්ටොයිඩ් අණුවලට මේ සෛල නිරාවරණය කිරීමයි. ඊළඟට රතු වර්ණ ගැන්වූ පිළිකා සෛලවලට බැඳුණු පෙප්ටොයිඩ වර්ග වෙන් කර හඳුනා ගත්තා. මේ ක්‍රමය මගින් අපට දවස්‌ දෙක තුනක්‌ වගේ කාලයක්‌ ඇතුළත පිළිකා සෛලවලට පහර දෙන පෙප්ටොයිඩ වර්ග 5ක්‌ හඳුනා ගන්න ලැබුණා. ඒ අතරිනුත් වඩා සාර්ථකව පිළිකා සෛලවලට පහර දිය හැකි එක පෙප්ටොයිඩ අණුවක්‌ අපි හඳුනා ගත්තා. එය GU40C4 ලෙස නම් කර තිබෙනවා.
ඔබ හඳුනා ගත් මේ පෙප්ටොයිඩ අණුවලින්
පිළිකා සෛල විනාශ කරන්නේ කොහොම ද?
එය පැහැදිලි කරන්න නම් පිළිකා සෛලවල ලක්‌ෂණ ගැනත් ටිකක්‌ පැහැදිලි කරන්න වෙනවා. පිළිකාවක්‌ කියලා හඳුන්වන්නේ ශරීරයේ යම් කොටසක තියෙන සෛල අසාමාන්‍ය විදිහට වර්ධනය වීම. එහෙම අසාමාන්‍ය ලෙස වර්ධනය වන පිළිකා සෛල ගැටිත්තකට ජීවය පවත්වා ගැනීමට නම් අධික රුධිර සැපයුමක්‌ තිබෙන්න ඕන. වෙනත් විදිහකට කියනවා නම් ඒ ආශ්‍රිතව රුධිර වාහිනී වැඩි වශයෙන් වර්ධනය වෙන්න ඕන. ඉතින් පිළිකා සෛලවලට පහර දීලා ඒවා මරා දමන්න පුළුවන් ප්‍රධාන ක්‍රමයක්‌ තමයි ඒ සෛලවල තිබෙන මේ රුධිර සැපයුම නැවැත්වීම.
පිළිකා සෛලවල රුධිර වාහිනී වැඩියෙන් හදලා රුධිර සැපයුම වැඩි කරන්නේ Vascular Endothelial Growth Factor (VEGF) කියන හෝමෝනයක ක්‍රියාකාරිත්වය හින්දයි. ඕනෑ ම හෝමෝනයක්‌ ක්‍රියාකාරී වීමට පටන් ගන්නේ සෛලය මතුපිට ඇති ඒ හෝමෝනයට අදාළ විශේෂිත ස්‌ථානයකට - එහෙමත් නැත්නම් ප්‍රතිග්‍රාහකයකට සම්බන්ධ වීමෙන් පසුවයි. ඒ විදිහට VEGF හෝමෝනය ක්‍රියාත්මක වීමට පටන් ගන්නේ පිළිකා සෛල මතුපිට සහ එහි රුධිර වාහිනී බිත්ති මතුපිට ඇති VEGF ප්‍රතිග්‍රාහකවලට බැඳීමෙන් පසුවයි. අපි හොයා ගත් පෙප්ටොයිඩ් අණුවලට මේ කියන VEGF ප්‍රතිග්‍රාහකවලට බැඳෙන්න පුළුවන්. එතකොට හෝමෝන අණුවලට එතැනට බැඳෙන්න බැහැ. ඒ හරහා හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නැවතිලා පිළිකා සෛලයේ රුධිර සැපයුම අඩු වෙලා එය මිය යන්නට පටන් ගන්නවා.
VEGF හෝමෝනය සාමාන්‍ය සෛලවලත් ක්‍රියාත්මක වෙනවා ද?
ඔව්. සාමාන්‍ය නීරෝගී සෛලවලත් VEGF හෝමෝනය ක්‍රියාකාරි වන අවස්‌ථා තියෙනවා. මවු කුස තුළ කලලය වැඩෙන අවස්‌ථාවේ පටන් මිනිසකු ගේ රුධිර වාහිනී පද්ධතියේ වර්ධනය සිදු වන්නේ මේ හෝමෝනය නිසයි. එහෙත් නිරෝගි වැඩිහිටියකු තුළ මේ හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩුයි. නිරෝගි වැඩිහිටියකු ගේ තුවාලයක්‌ සිදු වුණා ම පමණක්‌ VEGFහෝමෝනය ක්‍රියාකාරී බව වැඩි වෙනවා. එහෙම වෙන්නේ තුවාලය නිසා හානි වූ රුධිර වාහිනී යළිත් හදන්නයි. මේ හැරෙන්න සාමාන්‍යයෙන් වැඩිහිටියකු ගේ සිරුරේ මේ හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වනවා නම් එහෙම වෙන්නේ පිළිකාවක්‌ හින්දයි. ඒ නිසා ම තමයි යම් විදියකින් VEGF ප්‍රතිග්‍රාහක අවහිර කරලා VEGF හෝමෝනයේ ක්‍රියාකාරිත්වය නවත්වන්න පුළුවන් වුණොත් ඒක පිළිකා සෛල විනාශ කරන සාර්ථක ක්‍රමයක්‌ විදිහට හඳුනාගෙන තියෙන්නේ. මම හඳුනා ගත් පෙප්ටොයිඩ අණුවටත් මේ විදිහට VEGF ප්‍රතිග්‍රාහක අවහිර කිරීමේ හැකියාව තිබෙනවා.
එය සායනික අත්හදා බැලීම්වලට ලක්‌ කළා ද?
තවමත් මේ සංයෝගය ඖෂධයක්‌ බවට පත් කරල නැහැ. එය දැනට ඖෂධයක්‌ බවට පත් කළ හැකි සංයෝගයක්‌ - එහෙමත් නැත්නම් lead
molecule විදිහට තමයි නිවැරැදිව හඳුන්වන්න පුළුවන්. දැනටමත් මීයන් ඇසුරෙන් කළ පර්යේෂණවලින් GU40C4 අණුවට පිළිකා සෛල විනාශ කරන්න පුළුවන් බව ඔප්පු වෙලා තිබෙනවා. දැන් තිබෙන්නේ එය මිනිසුන් කෙරෙහි අත්හදා බැලීමයි. ඒත් ඒක අපි වගේ විශ්වවිද්‍යාල පර්යේෂකයන්ට පමණක්‌ කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. එය සිදු කරන්න පුළුවන් ඖෂධ සමාගම්වල මැදිහත් වීම යටතේ පමණයි. මම සොයා ගත් මේ සංයෝගයත් ඒ ආකාරයට මිනිසුන් සඳහා අත්හදා බලලා සාර්ථක වුණොත් තව අවුරුදු කිහිපයකින් වෙළෙඳ පොළට ගේන්න පුළුවන්කම තිබෙනවා.
#එය කෙදිනක හරි ඖෂධයක්‌ බවට පත් වුණොත් එහි මිල අපි වගේ තුන් වැනි ලෝකයේ රටක රෝගියකුට දරා ගන්න පුළුවන් වෙයි ද?
ඇත්තට ම මම මුල ඉඳලා ම උත්සාහ කළෙත් අනෙක්‌ ඖෂධවලට සාපේක්‌ෂව අඩු වියදම් ඖෂධයක්‌ නිපදවන්නයි. ඒකට හේතුව සමහර ප්‍රති පිළිකා ඖෂධවල මිල තුන්වැනි ලෝකයේ රටවලට දරා ගන්න බැරි තරම් ඉහළ වීමයි. ඒත් මම මේ ක්‍රමයේ දී යොදා ගත්තේ සරල අඩු වියදම් තාක්‌ෂණයක්‌. ඒ වගේ ම මේ කියන පෙප්ටොයිඩ් අණු අඩු වියදමකින් කෘත්‍රිමව සංශ්ලේෂණය කරන්නත් හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ ආශ්‍රයෙන් ඖෂධයක්‌ නිපදවුවොත් එහි වියදම අනිවාර්යයෙන්ම අනික්‌ ඖෂධවලට වඩා අඩු වෙනවා - දැනට මම තවත් මේ වගේ සංයෝග හඳුනා ගන්න මගේ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යනවා
#ඔබේ සොයා ගැනීම් සඳහා පේටන්ට්‌ අයිතිය හිමි වෙන්නේ කොහොම ද?
මේ පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂකයා වශයෙන් මටත්, ඒ සඳහා උපදේශකත්වය දැරූ සවුත්වෙස්‌ටන් වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු වන ආචාර්ය තෝමස්‌ කොඩැඩෙක්‌ ඇතුළු එයට සහාය වූ පර්යේෂකයන්ටත් පේටන්ට්‌ අයිතිය හිමි වෙනවා. එක්‌ පුද්ගලයෙක්‌ මොකක්‌ හරි දෙයක්‌ හොයාගෙන තනියෙන් පේටන්ට්‌ අයිතිය ලබා ගැනීමේ ක්‍රමයක්‌ නෙමෙයි එහෙ විශ්වවිද්‍යාලවල තිබෙන්නේ. හැම විට ම ඕනෑ ම සොයා ගැනීමක්‌ කණ්‌ඩායම් උත්සාහයක්‌ හැටියට තමයි පිළිගැනෙන්නේ. මේ වන විට අපේ පර්යේෂණයෙන් හඳුනාගත් සංයෝගය සඳහා ලැබෙන පේටන්ට්‌ අයිතිය ප්‍රතිපිළිකා ඖෂධයක්‌ නිපදවීම සඳහා සමාගමකට පවරා (License කර) තිබෙනවා.
මේ වගේ පර්යේෂණ හරහා අප වගේ තුන්වැනි ලෝකයේ රටවල පර්යේෂකයන් ගේ දැනුමෙන් අන්තිමේ දී ඇමෙරිකාව වගේ බලවත් රටවල් වාසි ලබා ගන්නවා යෑයි කෙනකුට හිතෙන්න පුළුවන්?
එහෙම හිතෙන එක වළක්‌වන්න බැහැ. ඒත් පිළිකා පර්යේෂණ වගේ දේවල් සිදු කරන්න අපි වගේ දුප්පත් රටවල ප්‍රමාණවත් තරම් විද්‍යාගාර පහසුකම් සහ ඊට අවශ්‍ය කරන හුඟක්‌ සම්පත් නැහැ. ඒ නිසා අප වගේ පර්යේෂකයන්ට ඒ සඳහා සම්පත් තිබෙන බටහිර රටවලට ගිහින් මේ වගේ පර්යේෂණ සිදු කරන්න සිදු වීම තවමත් නොවැළැක්‌විය හැකි තත්ත්වයක්‌. නමුත් අප සිදු කරන මේ පර්යේෂණවලින් කවදාක හරි ලෝකයේ හැම රටක ම පිළිකා රෝගීන් ප්‍රතිපල ලබා වි. අඩු වියදම් ඖෂධ නිපදවීම ගැන මම මුල ඉඳලා ම කතා කළෙත් අප වගේ රටවල් ගැන හිතන නිසා මයි. ඒත් කවදාක හරි ලංකාවේ එවැනි පර්යේෂණ කිරීම සඳහා අවශ්‍ය කරන සම්පත් සහිත වාතාවරණයක්‌ ගොඩනැඟුණොත් අනිවාර්යයයෙන් ම ලංකාවට ඇවිත් පර්යේෂණ කටයුතු කරන්න මම ඉතා ම කැමැත්තෙන් ඉන්නවා. විශේෂයෙන් ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ බටහිර වෛද්‍ය විද්‍යාව යන දෙක ම ඇසුරු කරගෙන ප්‍රති පිළිකා ඖෂධ සම්බන්ධව පර්යේෂණ කරන්න මගේ බලාපොරොත්තුවක්‌ තිබෙනවා.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන ඔබේ විශ්වාසයක්‌ තියෙනව ද?
ඇයි නැත්තෙ? බටහිර වෛද්‍ය විද්‍යාව ඇසුරු කර ගත් පර්යේෂකයෙක්‌ වුණත් මම තවම විශ්වාස කරන දෙයක්‌ තමයි පිළිකා සඳහා වඩා සාර්ථක ප්‍රතිකාර ක්‍රම අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන්න පුළුවන් කියන එක. ඒත් හුඟක්‌ ආයුර්වේද වෛද්‍ය ක්‍රම මුඛ පරම්පරාගතව පැවතෙන හින්දා අතීතයේ දී පාවිච්චි කරපු ඇතැම් සාර්ථක ප්‍රතිකාර ක්‍රම දැන් වැළලිලා ගිහින් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිලිබඳව නිසි අධ්‍යයනයක්‌ කළ යුතුයි කියන තැන මම ඉන්නවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක්‌ දක්‌වන දේශීය වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් ඉන්නවා නම් ඔවුන් සමග එකතු වෙලා පර්යෙෂණ මෙහෙයවන්නත් මගේ විශාල බලාපොරොත්තුවක්‌ තියෙනවා. ඒත් මෙතන දී සමහර අය ඒක වැරැදියට තේරුම් ගන්න පුළුවන්. දේශීය දේවල් පිටරටට විකුණනන්න හදනවා කියලා චෝදනාවක්‌ එන්නත් පුළුවන්. ඒත් මම උත්සාහ කරන්නේ එහෙම දෙයක්‌ කරන්න නෙමෙයි- අප වැනි රටවල තියෙන සාම්ප්‍රදායික දැනුමට බටහිර වෛද්‍ය විද්‍යාව අභිබවා යන්න පුළුවන් කියන එක මුළු ලෝකයට ම පෙන්නන්නයි මට අවශ්‍ය කරන්නේ. අපේ දැනුම සහ අපේ පර්යේෂකයෙක්‌ කෙළින් ම සම්බන්ධ කරගෙන යම්කිසි පර්යේෂණයක්‌ කළොත් එහි පේටන්ට්‌ අයිතියට හිමිකම් කියන්න අපේ රටට සහ අපේ පර්යේෂකයන්ටත් පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට අපේ රටට සහ දේශීය වෛද්‍ය ක්‍රමයට ජාත්‍යන්තර මට්‌ටමේ කීර්තියක්‌ අත් වෙන විදිහේ පර්යේෂණයකට දායක වෙන්නයි මම දැන් සිහින දකින්නේ.
අපේ රටේ විද්‍යාත්මක පර්යේෂණ ක්‌ෂේත්‍රය දැන් තිබෙන තැන ගැන ඔබේ අදහස මොකක්‌ ද?
අපේ රටේ විද්‍යාත්මක පර්යේෂණ ක්‌ෂේත්‍රය මීට වඩා හුගක්‌ දියුණු කළ යුතුයි. අපේ රටේ දක්‌ෂ නිර්මාණශීලී පර්යේෂකයන් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ට අත දෙන්න ජාතික මට්‌ටමේ වැඩපිළිවෙළක්‌ සැකසිය යුතුයි කියලා මම තදින් විශ්aවාස කරනවා. ඒ සඳහා මම මගේ උපරිම ශක්‌ති ප්‍රමාණයෙන් දායක වෙන්න කැමැතියි. වෘත්තිය සඳහා ඇමෙරිකාවේ ජීවත් වුණත් මම ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත් කෙනෙක්‌ කියන එක මට අමතක නැහැ. කවදා හරි ඒ වෙනුවෙන් මවුබිමට සේවය කිරීම තමයි මගේ දැනට තියෙන ලොකු ම බලාපොරොත්තුව.
(සටහන - කත්‍යානා අමරසිංහ)