පන්සල්වලට බෝම්බ ගහන්න සිදු කළ සැලසුම කෙටි පණිවිඩයක් වැරදීමෙන් හෙළිවෙයි | Colombocall පන්සල්වලට බෝම්බ ගහන්න සිදු කළ සැලසුම කෙටි පණිවිඩයක් වැරදීමෙන් හෙළිවෙයි - Colombocall

Hot News

පන්සල්වලට බෝම්බ ගහන්න සිදු කළ සැලසුම කෙටි පණිවිඩයක් වැරදීමෙන් හෙළිවෙයි









බෞද්ධ ආගමික ස්ථාන වලට බෝම්බ ප්‍රහාර එල්ලකර රටේ ජාතිවාදී කලබල ඇති කිරීමට සැලසුම් කළ සංවිධානාත්මක කණ්ඩායමකට සම්බන්ධ අන්තවාදීන් 50 දෙනකු පිළිබඳව තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි වාර්තා වනවා. පසුගියදා පුත්තලම වනාතවිල්ලූව පොල්වත්තක වළදමා තිබූ අධිබල පුපුරන ද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම සංවිධානාත්මක කණ්ඩායමට සම්බන්ධව කටයුතු කළ  අන්තවාදීන් 07 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අන්තවාදී කණ්ඩායම සඳහා අලූතින් සාමාජිකයන් බඳවා ගැනීමට රටේ විවිධ ප්‍රදේශවල උපදේශක පන්ති පවා පවත්වා ඇති බවටද තොරතුරු හෙළිවී තිබෙනවා.

එසේම පසුගියදා වනාතවිල්ලූව යාල්වත්තේ වළදමා තිබූ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය සහ ඩෙටනේටර් තොගයද මෙම අන්තවාදී කල්ලියට සම්බන්ධ ප්‍රභල සාමාජිකයන් දෙදෙනකු විසින් රැගෙන ආ ඒවා බවටද කරුණු අනාවරණය වී තිබෙනවා. එම දෙදෙනාගෙන් එක් අයෙකුගේ දුරකතනයකට ලැබුනු කෙටි පණිවිඩයක් මගින් අදාල තොරතුරු අනාවරණය වීමත් සමඟ ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී තිබුනා.

අදාල පුපුරන ද්‍රව්‍ය වළදමා තිබූ පොල්වත්තේ හිමිකරුගේ ජංගම දුරකථනයෙන් එම කෙටි පණිවිඩය ලැබී තිබූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් එම ජංගම දුරකථනයේ හිමිකරු සොයා සිදුකළ විමර්ශනයේදී එම පුද්ගලයා වනාතවිල්ලූව ප්‍රදේශයේ  අක්කර 75 ක පොල් වත්තක හිමිකරුවකු බව අනාවරණය කරගෙන තිබුනා. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පුද්ගලයාට අයත් පොල් වත්තට ගොස් ඇති අතර එහිදී අදාළ පුද්ගලයා පුපුරනද්‍රව්‍ය තොගය  එම වත්තේ පාළු ස්ථානයක වළදමමින් සිට තිබෙනවා.

එහිදී පොල් වත්තේ හිමිකරුගෙන් සිදුතළ ප්‍රශන කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ මෙම අන්තවාදී කල්ලියට සම්බන්ධ පුද්ගලයන් සති කිහිපයක් තිස්සේ තම වත්තේ රැඳී සිටි බවත් පුපුරන ද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ ඔවුන් විසින් රැගෙන ආ බවත්ය. එසේම මාවනැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ කල්ලිය මෙහෙයවා ඇත්තේද ඔවුන් දෙදෙනා බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

 එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළිවී අත්තේ වනාතවිල්ලූව පොල්වත්තේ සැඟවී සිටි අන්තවාදී කල්ලියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා මාවනැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ කල්ලිය මෙහෙයවූ අය බවයි.