නැව් අවසරපත්‍රයකින් හොර රහසේ ලංකාවට ඇවිත් ගිය ගුවන් යානයේ සත්‍ය මෙන්න | Colombocall නැව් අවසරපත්‍රයකින් හොර රහසේ ලංකාවට ඇවිත් ගිය ගුවන් යානයේ සත්‍ය මෙන්න - Colombocall

Hot News

නැව් අවසරපත්‍රයකින් හොර රහසේ ලංකාවට ඇවිත් ගිය ගුවන් යානයේ සත්‍ය මෙන්න












පෞද්ගලික ගුවන් යානයක් නිසි ක්‍රමවේදයෙන් බැහැරව ඉකුත් 03 වැනිදා මෙරටට පැමිණ තිබුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්. ඒ, සිංගප්පූරු ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සහ චීන ව්‍යාපාරිකයින් තිදෙනෙකුද සමගයි. පසුව ඔවුන් අදාළ ගුවන් යානයෙන්ම ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පථයට ගොඩබස්වා තිබුණා. පසුව එම යානය ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරෙන්ම සිංගප්පූරුව බලා ඊයේ (06) පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මෙරටට පැමිණි ගුවන් යානයක් රටින් පිටව යා යුත්තේ අනුමත ගුවන් තොටුපළකින් පමණයි. ආගමන විගමන නීතියට අනුව අනුමත ගුවන් තොටුපළක් නොවන ස්ථානයකින් කිසිවෙකුට හෝ රටින් පිටව යාමට අවසර හිමිවන්නේ නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳ වාර්තා වන තොරතුරු පදනම් කර ගනිමින් විශේෂ සොය බැලිමක් සිදු කරන බවයි.

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පිටව ගිය බව කියන අදාළ ගුවන් යානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ද විමසීමක් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙසෙනවිරත්න සඳහන් කළේ අදාළ ගුවන් යානය පිටවී ඇත්තේ සියලූම නීතීමය කටයුතු සිදුවීමෙන් අනතුරුව බවයි. වෙනත් කරුණු    සිය විෂය පථයට අදාළ නොවන කරුණු බවද සඳහන් කළා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ අදාළ අංශවලින් නිසි අවසරයක් ලබා ගෙන තිබූ බැවින් ගුවන් යානය රටින් බැහැර කිරිමේදී කිසිඳු ගැටලූවක් මතු නොවූ බවයි.

කෙසේවෙතත් ඇතැම් වාර්තා පළ වී තිබුණේ මෙම ගුවන් යානය රටින් පිටවීම සඳහා භාවිත කර ඇත්තේ නෞකාවලට ලබා දෙන අවසරයක් බවයි. පවතින මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ විමසීමක් කළා. එහි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ අදාළ අනාවරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර අද (07) දිනයේ නිල ප්‍රකාශයක් සිදු කරන බවයි.

මේ අතර මෙම ව්‍යාපාරිකයින් රැගත් පෞද්ගලික ගුවන් යානය මෙරටට පැමිණ ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගල්ලාගමගේ ආරාධනයකට අනුවයි. ඔහු කියා සිටියේ නැගෙනහිර පළතේ ආයෝජන ශක්තිමත් කිරීමට මෙම පිරිස මෙරටට පැමිණ ඇති බවයි. මෙම ගුවන් ගමනත් සමග ප්‍රථමවරට ත්‍රිකුණාමල චීන වරාය ගුවන් පථයෙන් ලෝකය හා සම්බන්ධ වන ගුවන් ගමනක් සිදුවුව බවයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් , විදෙස් ව්‍යාපාරිකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි පෞද්ගලික ගුවන් යානයක් නිසි ක්‍රමවේදයෙන් බැහැරව රටින් පිටත්ව ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.