මැතිව්ස් සහ මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ බර කරට ගනිමින් ඉනිම ගොඩ ගනිති - PHOTOS - | Colombocall මැතිව්ස් සහ මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ බර කරට ගනිමින් ඉනිම ගොඩ ගනිති - PHOTOS - - Colombocall

Hot News

මැතිව්ස් සහ මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ බර කරට ගනිමින් ඉනිම ගොඩ ගනිති - PHOTOS -





තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ සිව්වන දිනය නවසීලනත්යේ වෙලිංටන් ක්‍රීඩාංගනයේදී අද (18) පවත්වනු ලැබුවා.

අද දිනයේ තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 20 ක් රැස් කරගෙන සිටියා.

නමුත් ආරම්බයේ පටන්ම අගනා සම්බන්ධතාවයක් ගොඩනගනු ලැබූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් දිනය අවසානය දක්වාම නවසීලන්ත පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් හට මහත් හිසරදයක් වෙමින් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීම කැපී පෙනෙන ලක්ෂණයක් වූවා. ඒ අනුව දිනය නිමාවන විට ශ්‍රී ලංකා ඉණිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් මොවුන් දෙදෙනා ගොඩනගා තිබූ ලකුණු සබඳතාව ලකුණු 246කි.

මෙය වාර්තා අතරට එක්වන්නේ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව ලෙස වාර්තා පිටු අලුත් කරමිනුයි.

මෙහිදී කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් දිවියේ 6 වන ශතකය වාර්තා කරමින් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 116ක්. ඇන්ජෙලෝ මැතිව්ස් අද ඔහුගේ 9 වන ටෙස්ට් ශතකය වාර්තා කළේ නොදැවී ලකුණූ 117 ක් රැස් කරගනිමින්.

මොවුන් දෙදෙනාම නවසීලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ශතකය මෙය වන අතර නවසීලන්තයට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.

කෙසේවෙතත් දිනය නිමාවන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉණිමට වඩා කඩුලු 7 ක් අතැතිව ලකුණු 74 ක් පිටුපසින් සිටිනවා.

අද දවසේ පැවැත්වුණු තරගයේ විශේෂ අවස්ථා සහිත සේයාරූ පහතින්..