රංගන හේරත් ගේ සමුගැනීමේ විස්තරය මෙන්න | Colombocall රංගන හේරත් ගේ සමුගැනීමේ විස්තරය මෙන්න - Colombocall

Hot News

රංගන හේරත් ගේ සමුගැනීමේ විස්තරය මෙන්න










"ආදරය කරන තැනකින් සමුගැනීම දුකක් අද ඒ දුක මටත් තදින්ම දැනෙනවා" - අද තරගයෙන් පසු ටෙස්ට් පිටියෙන් සමුගන්න රංගන හේරත් කියයි

මීට දශක දෙකකට පමණ පෙර මෙම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් ගමන ඇරැඹූ හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් නොහොත් රංගන හේරත් අද (6දා) ඇරැඹෙන තරගයෙන් පසුව මෙම ක්‍රීඩාංගණයේදීම ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බැවින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද සිට පැවැත්වීමට නියමිත ප්‍රථම ටෙස්ට් තරගයේදී වඩාත්ම අවධානය යොමුවී ඇත්තේ රංගනගේ අවසන් රංගනය දෙසය.
මෙම ක්‍රීඩාංගණයේදී 1999 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රංගන හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තම අවසන් ටෙස්ට් තරගය සඳහාද ගාල්ල ක්‍රීඩාංගණයම තෝරාගැනීම විශේෂත්වයක් වන අතර ගාල්ලේදී ඔහු සහභාගි වන 19 වැනි ටෙස්ට් තරගයද මෙයයි. ඒ අනුව මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩුලු 99ක් ලබා ඇති රංගනගේ ගාල්ලේ 100 වැනි කඩුල්ල ලෙස ගොදුරු වන එංගලන්ත ක්‍රීඩකයා කවුදැයි යන්න අද දින සිට ක්‍රීඩාලෝලීන් බලා සිටින අතර අද තරගයට පෙර ඊයේ (5දා) අප මුහුණදුන් විශේෂම සිදුවීම වූයේ ටෙස්ට් පිටියෙන් සමුගන්නා රංගන මාධ්‍යවේදීන් ඉදිරියේ හැඟීම් බරව හැසිරුණු ආකාරයයි.
1994 සිටම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි රංගන තමන් සමුගෙන යන මෙහොතේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි විය යුතු යැයි ගත් ඔහුගේම තීරණයකට අනුව ඊයේ එම මාධ්‍ය හමුව පැවැත්වූ අතර "මෙම තරගාවලියේ තවත් ටෙස්ට් තරග 2ක් තිබියදී ගාල්ල තරගයෙන් පසුව සමුගන්නේ ඇයිද?" යන ප්‍රශ්නය  විමසූ විට රංගන කියා සිටියේ තමන්ට මතුවී ඇති ශාරීරික ආබාධිත තත්ත්වයන් හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටුවත් සමඟ සාකච්ඡා කොට එම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 32 වැනි ටෙස්ට් තරගය අද ගාල්ලේදී ඇරැඹීමට පෙර ඊයේ වැඩිදුරටත් මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ටද පිළිතුරු දෙමින් අදහස් දැක්වූ රංගන "ටෙස්ට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ඉතාමත් අසීරු එකක්.
එහෙත් මේක හරි වෙලාව කියල මම හිතනවා. තමන් ආදරය කරන තැනකින් සමුගැනීම කාටත් දුකක්. ඒ දුක මේ මොහොතේ මටත් දැනෙනවා. මම ජාතික කණ්ඩායමට ආවෙ වයස 21දී. ඒ වගේ වයසකදී ජාතික කණ්ඩායමට එන්න ලැබීම භාග්‍යයක්. ඒ අවස්ථාව බොහෝ අයට ලැබෙන්නෙ නැහැ. මගේ ක්‍රිකට් ජීවිතය දෙස ආපසු හැරී බැලුවාම පෞද්ගලිකව මට කිසිම පසුතැවීමක් නැහැ. ක්‍රිකට් නිසා මට ජීවිතයේ ලැබුණු දේවල් වැඩියි. අද මම ගියාම මගේ තැන ගන්න ඉන්නේ කවුද කියල අහන ප්‍රශ්නයට උත්තරයක් දෙනව නම් දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, මලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන් වැනි නම් කියන්න පුළුවන්. නමුත් නම්වලට වඩා දක්‍ෂයන් ගැන අපි අවධානය යොමුකරන්න ඕන" යනුවෙන්ද කිය.
කෙසේ වෙතත් වරින් වර කණ්ඩායමට පැමිණීමට අවස්ථාව ලබා ගෙන තම ස්ථානය ස්ථාවර කරගත් බවද සඳහන් කරමින් අදහස් දැක්වූ රංගන මෙතෙක් සාර්ථකව පැමිණි ගමනට අත හිත දුන් සියලුම දෙනා සිහිපත් කරමින් මෙසේද අදහස් දැක්වීය. "මම 99 සිට මේ දක්වා ආපු ගමනට සියලුම රසිකයන් වචනයෙන් හරි උදව් කළා. ඒ වගේම ඉදිරියට එන අයටත් මට වගේම උදව් කරන්න කියල මම රසිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නැතිවුණත් (කඳුළු සලමින්..) ඔවුන් නිසා තමයි මට මේ වගේ තැනකට එන්න හැකියාව ලැබුණේ. ඒ වගේම මගේ බිරිය ඇතුළු පවුලේ සැමගෙන් ලැබෙන සහයෝගය අමතක කරන්න බැහැ. ඒ වගේම 94 සිට මේ දක්වා උදව් කරපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ සිට පහළ සියලුම දෙනාත්, ක්‍රීඩා අමාත්‍යවරුන්, වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන්, ක්‍රීඩාලෝලීන් වගේම අනුග්‍රාහකයන් මේ මොහොතේ සතුටින් මතක්කරනවා.
තවද එංගලන්ත කණ්ඩායමේ ප්‍රබලම ආරම්භක පිතිකරුවකුව සිටි ඇලිස්ටයාර් කුක් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව එංගලන්ත කණ්ඩායම සහභාගි වන පළමු ටෙස්ට් තරගය මෙය වන අතර ඒ සම්බන්ධයෙන්ද විමසූ විට අදහස් දැක්වූ රංගන කියා සිටියේ කුක් වැනි පිතිකරුවෙක් නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට යම් සහනයක් ගෙන දෙන බවයි.