මහජන ගැලරිය වසා දමා පාර්ලිමේන්තුව රැස් වෙයි! විස්තරය මෙන්න | Colombocall මහජන ගැලරිය වසා දමා පාර්ලිමේන්තුව රැස් වෙයි! විස්තරය මෙන්න - Colombocall

Hot News

මහජන ගැලරිය වසා දමා පාර්ලිමේන්තුව රැස් වෙයි! විස්තරය මෙන්න






පාර්ලිමේන්තුව අද (27දා) සවස 01ට යළි රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. නමුත් අද සියලුම මහජන ගැලරි සහ කථානායක විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වෙන්කර තිබෙන ගැලරි වසා තබන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවා. මාධ්‍යවේදීන් සඳහා පමණක් වෙන්කර ඇති ගැලරි පමණක් අද විවෘතව පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. පාර්ලිමේන්තු රැස්වීම් පැවැති පසුගිය දින කිහිපයකදීම සිදුවූ ගැටුම්කාරී සිදුවීම් හේතුවෙන් මහජන ගැලරි සහ කථානායක ගැලරිය වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන් විටත් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ හා ඉන් පිටද රැස්වීම් පැවැත්වෙන කාලය තුළ දැඩි ආරක්ෂක රැකවල් යෙදීමට පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ කථානායක කාර්යාලයට පිවිසීම සඳහා යොදා ඇති පඩිපෙළවල් දෙකෙහිද හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් සභා ගර්භය තුළට කැඳවීම පිණිස පොලිස් භට කණ්ඩායම් දෙකක් පසුගිය රැස්වීම් දිනයේ යොදවා තිබුණා.

සභා ගර්භයට ඇතුළු වන ප්‍රධාන ‍ෙදාරටු හතරෙහි, පරීක්ෂණ කුටි හතරක් ස්ථාපිත කර ඇති අතර ඇතුළු වන සියලුම මන්ත්‍රිවරුන් එම ‍ෙදාරටුවලදී දැඩි පරීක්ෂාවට භාජන කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ ආසන පැනවීම සඳහා තවමත් කථානායකවරයාගෙන් උපදෙස් ලැබී නැතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ඒ අනුව අද (27දා) රැස්වන පාර්ලිමේන්තු සභාවාරයේද අගමැති කෙනකු, සභා නායක කෙනකු හෝ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කෙනකු සඳහා අසුන් පනවා නොමැති බවද ඔහු කියා සිටියා.

වත්මන් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති හෙයින් ආණ්ඩුව විසිරී ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැතිවරයකු, සභා නායකවරයකු හෝ ආණ්ඩු පක්ෂයේ සංවිධායකයකු නොමැති බවට, කථානායකවරයා පසුගියදා කළ නිවේදනයේ වෙනසක් වී නොමැති බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

ඒ අනුව අද (27දා) පාර්ලිමේන්තු රැස්වීමේදී ඕනෑම මන්ත්‍රිවරයකුට ඕනෑම ආසනයක අසුන් ගැනීමේ හැකියාව පවතින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.