බෝමලුවේ මල් සුවදක පැටලි.... සිංදු අහලා තිබුනට තෙරැම අහලා තිබුනද..... | Colombocall බෝමලුවේ මල් සුවදක පැටලි.... සිංදු අහලා තිබුනට තෙරැම අහලා තිබුනද..... - Colombocall

Hot News

බෝමලුවේ මල් සුවදක පැටලි.... සිංදු අහලා තිබුනට තෙරැම අහලා තිබුනද.....

#

අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප්‍රියානන්ද විජේසුන්දර ඇතුලු පිරිස කොලඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියෝය. වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.

ඒ දිනවල එම ප්‍රදේශය ඉතා පාළු කැලෑබද ප්‍රදේශයක් වූ අතර ලාහුගල වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරුවන "අලි මංකඩ" ඒ හරහා විය.

බොහෝ දෙනා අඩ නින්දේ පසු වුනත් ප්‍රියානන්ද සහ සනත් දෙදෙනා ඇහැ ඇරගෙන විටින් විට කෙටි කතා බහේ යෙදුනෝය. පාර අබලන්  වූ නිසා ඔවුන් පැමිණි රථය ගමන් ගත්තේද ඉතාම හෙමිනි.

පාරේ ඈතින් කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලංවීමේදී දක්නට ලැබුනේ වයස අවුරුදු දහයක පමණ කුඩා සාමණේර හිමි නමක් රෙදි බෑග් මල්ලක් කරේ එල්ලා ගෙන පන්දමක් අතින් දරාගෙන සීතල  රාත්‍රියේ දාඩිය දමාගෙන වේගයෙන් පාර දිගේ ඇවිදින අයුරුය.

හිමි නම ලංවනවාත් සමගම වාහනය මදකට නතර කර වූ ප්‍රියානන්ද "පොඩි හාමුදුරුවො කොහෙද මේ මහ රෑ දෙගොඩ හරියේ තනියම කැලේ මැද්දෙ පන්දමකුත් අරගෙන වඩින්නෙ..? පන්සලෙන් පැනල යනවද..?"

ඔහු දෙස මදක් වෙලා බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කඳුලින් බරවී අඬන්නට විය.

"අපේ අම්මට අමාරුයි කියල පණිවිඩයක් ආවා මහත්තයෝ. මාත් එක්ක යන්න කවුරුවෙත් නැති නිසා මම තනියම යනව ඉක්මනට"

"අම්මට මොකක් වෙලාද....?"

"නංගිල දෙන්න බඩගින්නෙ අඬනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වෙලාවේ වතුර හොයා ගෙන යන හැපින්නක් පෑගිලා. ඌ අම්මට ගහල මහත්තයෝ. අම්මට අන්තිම ලු මහත්තයෝ."

"එතකොට පොඩි හාමුදුරුවන්ගෙ තාත්ත...?"

''අවුරුදු දෙක තුනකට කලිං ගහකින් වැටිල මැරුන මහත්තයෝ"

"පවුලේ තව කවුද ඉන්නේ?"

"නංගිලා දෙන්නා විතරයි"

"ඉතිං අම්ම මොකද කරන්නෙ.....?"

"අම්ම පුලුවන් දවසට ගඩොල් කපන්න යනවා. ඒත් නංගිල පොඩි නිසා හැමදාම යන්නෙ නැහැ."

 ප්‍රියානන්දට එතනින් එහාට කතා කර ගත නොහැකි විය. රථයේ සිටි සියල්ලෝම තෘෂ්නිම්භූතව බලා සිටින්නට විය.

"පොඩි හාමුදුරුවො නගින්න මේකට. අපි ගෙදරට ඇරලන්නම්"

"අපේ ගෙදරට යන පාරේ මේව යන්න බැහැ මහත්තයෝ. ගොඩාක් පාරෙන් ඇතුලෙ. දොලකින් එගොඩ වෙලා යන්නත් තියෙනව"

"කමක් නැහැ පොඩි හාමුදුරුවො නගින්න. අපි ගෙදරට යන පාර ලගදි බස්සවන්නම්"

"ඒත් මම මේ පන්දම නිව්වොත් මට ආපහු පත්තු කර ගන්න වෙන්නේ නැහැ..මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ"

රියදුරා ලඟ වාසනාවට ලයිටරයක් තිබිණ. ටික දුරක් එම රථයේ ගිය එහිමියන් "මහත්තයලට ගොඩාක් පිං. මම තනියම ආවේ බයෙන්. ඒත් මම අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම මාව මහණ කලේ තාත්ත මැරුනු නිසා. එදා අම්ම ගොඩාක් ඇඬුව මහත්තයෝ. තෙරුවන් සරණයි.."

රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබූ මුදල් හැකි පමණින් එකතු කර ඒ හිමියන්ට දී "පරිස්සමින් යන්න. අම්මට ඉක්මනට හොද වෙයි"  කියමින් සාමනේර හිමියන්ට සමුදෙන්නට විය.

මේ සිද්ධිය සියලු දෙනාටම මහා කම්පනයක් ඇති කළ අතර එක දිනක් මේ ගැන සිතමින් සිටි  ප්‍රියානන්ද මෙසේ ලියන්නට විය.

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ..
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ වෙලිලා..
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා..

බෝ මලුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට හිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලඟට සැනින්..

එතෙර කරන්නම් හතර වරියගම
සංසාරේ යන මේ ගමනින්..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහලුවන් හා සැණිනේ..
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා..
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා..

උපුටා ගැනිම - චාමර වන්නිආරච්චි