ලංකාවට අනාගතයේදී සල්ලි වලට විදුලියත් චීනෙන් ! තවත් ණය උගුලක හිරවෙන ලකුණු ! | Colombocall ලංකාවට අනාගතයේදී සල්ලි වලට විදුලියත් චීනෙන් ! තවත් ණය උගුලක හිරවෙන ලකුණු ! - Colombocall

Hot News

ලංකාවට අනාගතයේදී සල්ලි වලට විදුලියත් චීනෙන් ! තවත් ණය උගුලක හිරවෙන ලකුණු !







ශ්‍රී ලංකාව චීන ජන රජය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙරට ප්‍රථම ද්‍රවකෘත වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ මාසය ඇතුළ දීම හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

චීන රජයත්, ශ්‍රී ලංකා ජනරජයත් මෙරට විදුලිබල මණ්ඩලයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ඉදිකෙරෙන මේ බලාගාරය මඟින් මෙගොවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්වෙන බවද මෙරට විදුලිබල අවශ්‍යතාවට තිරසර විසඳුමක් ලෙසත් පරිසර දූෂණයට ඉතා අවම මට්ටමේ පවතින බලශක්ති ප්‍රභවයන් ලෙසත් ගැනෙන මේ ස්වාභාවික ද්‍රවවායු බලාගාරය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

මේ සම්බන්ධව කළ විමසුමකදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ එම බලාගාරය හම්බන්තොට වරාය පරිශ්‍රයේ අක්කර 50ක පමණ භූමි භාගයක ඉදිවන බවත් එවැනිම ස්වාභාවික ද්‍රවකෘත වායු බලාගාර 2ක් කෙරවලපිටිය ප්‍රදේශයේද ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවත්ය.

මේ වන විට කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත එම බලාගාර ද්විත්වයේ මූලික කටයුතු සම්පාදනය වෙමින් පවතින බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර මේ පිළිබදව විද්වතුන් පවසන්නේ බදු දුන්න හම්බන්තොට වරාය භූමියේ විදුලි බලාගාරයක් ආරම්භ කිරීමත්, තවත් බලාගාර දෙකක් චීන සමාගමක් මගින් මෙරට ඉදි කිරීමෙන් විශාල හානියක් රටට සිදුවන බවයි. හම්බන්තොට වරායේ ණය ගෙවා ගැනීමට නොහැකියැයි කියා චීන සමාගමකට එය බදු දුන් වත්මන් ආණ්ඩුව මේ සැරසෙන්නේ තවත් අහිතකර විපාකයක් ලංකාවට අත්කර දීමටය.

අනාගතයේදී ලංකාවට විදුලිය ලබා ගැනීමට චීන සමාගම්වල බලාගාරවලට මුදල් ගෙවිය යුතු තත්ත්වයක් මෙයින් නිර්මාණය වන අතර එසේ මුදල් ගෙවීමෙන් ලංකාවේ "රුපියල" තව තවත් බාල්දු වන බව විද්වතුන් කියා සිටී.