දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම නවතී ! ඛණිජ තෙල් වැඩ වර්ජනයක් | Colombocall දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම නවතී ! ඛණිජ තෙල් වැඩ වර්ජනයක් - Colombocall

Hot News

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම නවතී ! ඛණිජ තෙල් වැඩ වර්ජනයක්





ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති වහාම ක්‍රියාත්මකවන පරිදි වැඩ වර්ජනයක් කැඳවා තිබෙනවා.

ඒ සිය සේවකයෙකු අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයෙකු අතින් ජීවිතක්ෂයටපත් වීමට විරෝධය පළකරමින්.
එමෙන්ම සිද්ධියට මුල් වූ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බල කිරීම ද මෙහි අරමුණක්.
එම සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ උප සභාපති කේ.ජී.එස්. හේමන්ත සඳහන් කළේ එය ක්‍රියාත්මක කරන තුරු මෙම වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

ඒ අනුව මේ මොහොතේ සිට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම නවතා දමන බව ද ඔහු සඳහන් කළා.

හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පිරිසක් එයට විරෝධය පළ කිරීමත් සමග අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පසුව දෙපිරිස අතර ඇති වූ බහින් බස් වීම දුරදිග ගොස් එහි උණුසුම් ගැටුම්කාරී වාතාවරණයක් හටගත්තා.

එහි දී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු විසින් අනෙක් පාර්ශවය වෙත ගිනි අවියක් එල්ල කොට වෙඩිතබාඇති බව මේවන විට ලැබෙන තොරතුරු සඳහන් කරනවා.

වෙඩිතැබීමෙන් තුවාළ ලැබූ තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

තුවාළ ලැබූ දෙදෙනාගෙන් එක් පුද්ගලයකුගේ හිසටත්‍, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩිවැදීඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ‍
පසුව ඉන් එක් අයෙකු ජීවිතක්ෂයටපත් වූවා.
වෙඩිවැදුණු අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වුණා.
ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමග හිටපු අමාත්‍ය රණතුංග සංස්ථා පරිශ්‍රය තුළ සිරවී සිටි අතර පසුව ඔහු මුදාගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙන්.

මේ අතර මෙම උණුසුම් අවස්ථාවේ දී සංස්ථා සේවකයින් “තොපිට තෙල් නවත්වනවා” යැයි ද කෑගසන්නට වූවා.