පුද්ගලයකු පැහැරගෙනයාම සම්බන්ධයෙන් "මුතුහෙට්ටිගමට" අධි චෝදනා නමයක් ! | Colombocall පුද්ගලයකු පැහැරගෙනයාම සම්බන්ධයෙන් "මුතුහෙට්ටිගමට" අධි චෝදනා නමයක් ! - Colombocall

Hot News

පුද්ගලයකු පැහැරගෙනයාම සම්බන්ධයෙන් "මුතුහෙට්ටිගමට" අධි චෝදනා නමයක් !





පුද්ගලයකු පැහැරගෙන ගොස්‌ සිරකර තැබීම ඇතුළු අධි චෝදනා නමයක්‌ යටතේ වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස්‌ දෙනකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු "මංජුල තිලකරත්න" මහතා ඉදිරියේදී (10 දා) අධි චෝදනා භාරදෙන ලදී. 
අධි චෝදනා භාර දීමෙන් පසු එක්‌ අයෙකු රුපියල් විසි දහසක මුදල් ඇපයක්‌ සහ රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. 
මෙසේ අධි චෝදනා බාර දීමෙන් පසු ඇපමත මුදාහරිනු ලැබුවේ නිශාන්ත මුතුහෙට්‌ටිගම, උඩුගම විතානගේ ලලිත් ධම්මික, සෙනවිරත්න ඈපාගේ දිමුතු ප්‍රදීප්, නිරාඡ් අසංක ජයවර්ධන සහ විදානකාරියකරනගේ හසිත අකලංක යන විත්තිකරුවන් පස්‌ දෙනාය.
සිව්වන විත්තිකරු නිරාඡ් අසංක වෙනත් නඩුවක්‌ සඳහා මේ වන විට බන්ධනාගාර ගතව සිටින නිසා ඊළඟ නඩු දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාරගත අධිකාරිවරයාට නියෝග කළේය.
උඩුගම පොලිස්‌ වසමේ ගල්ලන්දලදී 2009 සැප්තැම්බර් 7 වැනි දින පැමිණිල්ල නොදත් අන් අය සමග එක්‌ව අතුකෝරල ආරච්චිගේ නජිරාන් සෙනවිරත්න යන අය පැහැරගෙන ගොස්‌ අයුතු ලෙස සිරකර තබා ගෙන මරණ බවට තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑම, නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වීම ඇතුළු අධි චෝදනා නමයක්‌ යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
දකුණු පළාත් සභාවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා 2009 පැවැති පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂකයකු වූ සජින් වාස්‌ ගුණවර්ධනගේ ගල්ලන්දල කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පැමිණිලිකරු කටයුතු කරමින් සිටියදී සිද්ධිය වූ දින උදෑසන විත්තිකරුවන් පැමිණ මුතුහෙට්‌ටිගම මහතාගේ කාර්යාලයක්‌ කැඩූ බවට චෝදනා කරමින් පැමිණිලිකරු පැහැරගෙන ගොස්‌ අයුතු ලෙස සිරකර තබාගෙන සාපරාධී බලහත්කාරය පා ඇති බව පැමිණිල්ල කියා සිටියේය.
නඩු විභාගය ඔක්‌තෝබර් 31 වන දිනට කල් තබන ලදී.