ඇමරිකාවේ එහෙමයි ලංකාවේ මෙහෙමයි | Colombocall ඇමරිකාවේ එහෙමයි ලංකාවේ මෙහෙමයි - Colombocall

Hot News

ඇමරිකාවේ එහෙමයි ලංකාවේ මෙහෙමයි

ඇමරිකාව තමාගේ රට වෙනුවෙන් ත‍්‍රස්තයන්ට එරෙහිව සටන් වදින තම හමුදාවන් යුද අපරාධ චෝදනාවලට හසු වුවද ඔවුන් ව ආරක්‍ෂා කර ගැනීම සඳහා එරට පාලකයෝ කි‍්‍රයාකරන ආකාරය අප මීට ප‍්‍රථම මෙම පුවත්පත මගින්ම පෙන්වාදී ඇත්තෙමු. ඇමරිකාවේ නීතියට අනුව සම්මතව ඇති, ‘‘හේග් ආක‍්‍රමණ’’ පනත යනුවෙන්ද හඳුන්වන, එම නීතියට අනුව යම් ඇමරිකානු භටයෙක්ව වෙනත් රටකදී අත්අඩංගුවට ගතහොත් එම රට ආක‍්‍රමණය කර හෝ එම භටයා නිදහස් කර ගැනීමට ඔවුන්ට නීතියේ අවසර දී තිබේ. එංගලන්තයේ අගමැතිනි තෙරේසා මේ මහත්මිය කියා සිටින්නේ ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින තම සෙබළු බේරා ගැනීම සඳහා තමා බි‍්‍රතාන්‍යයේ මානව හිමිකම් නීති වෙනස් කිරීමට වුවද නොපැකිලෙන බවය.
ඇමරිකානු පාලකයන් විසින් තම හමුදා සාමාජිකයන් යුද අපරාධ චෝදනාවලින් ආරක්‍ෂා කර ගැනීම සඳහා ගන්නා වූ කි‍්‍රයාමාර්ගයන්ගෙන් නවතම පියවර හෙළි වූයේ ඇමරිකානු ජාතික ආරක්‍ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් නොබෝදා කරන ලද ප‍්‍රකාශයෙනි. ඒ, ජාත්‍යන්තර යුද අධිකරණය විසින් ඇෆ්ගනිස්ථානයේ සේවය කළ/ කරන ඇමෙරිකානු භටයන්ට යුද අපරාධ පිළිබඳ නඩු පැවරීම සම්බන්ධයෙනි. බෝල්ටන් කියා සිටියේ එම අධිකරණ කි‍්‍රයාවලිය ‘‘නීතිවිරෝධී’’ බවත් ඇමරිකාව තම භටයන් බේරා ගැනීම සඳහා හැකි සෑම කි‍්‍රයාමාර්ගයක් ම ගන්නා බවත් ය. ‘‘අපි ජාත්‍යන්තර යුද අධිකරණ විනිශ්චයකරුවන් ඇමරිකාවට ඒම තහනම් කරනවා. ඔවුන්ට සම්බන්ධ මූල්‍ය ගිණුම් සම්බන්ධයෙන් කි‍්‍රයා කරනවා. ඒ වගේම ඔවුන්ට සහාය දෙන අනෙකුත් සමාගම්වලට විරුද්ධව අපි වැඩ කරනවා. අපි අපේ අපරාධ නීතියට අනුව ඒ සැමට විරුද්ධව කටයුතු කරනවා. මොවුන්ගේ මෙම කි‍්‍රයාවලිය ඇමරිකාවේ ස්වාධීනත්වයට, ස්වෛරීත්වය, ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්. අපි අපේ ඇමරිකානු ව්‍යවස්ථාවට ඉහළින් කිසිවක් පිළිගන්නේ නැහැ.’’ එසේ ප‍්‍රකාශ කරන්නේ ඇමරිකාවය.
ඇමරිකාව තම හමුදාවන්, යුද අපරාධ කළද, ඔවුන්ව ආරක්‍ෂා කිරීම ලෝකයා ඉදිරියේ කටයුතු කරන්නේ එසේය. අපේ රටේ පාලකයෝ යුද අපරාධ නොකළ හෝ එසේ කළ බවට කිසිදු සාක්‍ෂියක් හෝ නොමැති හමුදාවන් ජාත්‍යන්තර අධිකරණයට නින්දිත අයුරින් පාවාදී ඇති අන්දම අප මීට ඉහත පෙන්වාදී ඇත්තෙමු. යුද්ධය ජයගත් විරුවන්ට ඉතා පහත් අන්දමින් සලකන අයුරු ද අප හෙළි කර තිබේ. එම ගුණමකු, අකටයුතු කි‍්‍රයාවලියේ තවත් එක් නිහීන කි‍්‍රයාවක් අප මීට දින 3 කට ඉහත දුටුවෙමු. ඒ, ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගත් ප‍්‍රධාන නියමුවකු වන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ඞී. ඒ. රාජපක්‍ෂ ස්මාරක ගොඩනැඟිල්ල ඉදිකිරීම පිළිබඳව පවරා ඇති නඩුවයි. එම නඩුවෙන් ඔහුට ඇප ලැබිණි. නමුත් ඔහුට විදේශ ගමන් තහනම්කොට ඔහුගේ විදේශ ගුවන් බලපත‍්‍රය උසාවියට භාර ගැනුණි. තවද ඔහුගේ ඇඟිිලිවල තීන්ත තවරා ඇඟිලි සටහන්ද ගන්නා ලදි උසාවියට සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන කුඩුකාරයන්ගේද, පික්පොකට් කාරයන්ගේද, හොරුන්ගේද, ස්තී‍්‍ර දූෂකයන්ගේද, මිනීමරුවන්ගේද, ඇඟිලි සටහන් ලබාගත්තේ ද එසේ ඇඟිලිවල තීන්ත තවරායි. සමස්ත ජාතියටම (විනිසුරුකරුවන් ද ඇතුළුව) මරණ බියෙන් තොරව ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීමට ම්ලේච්ඡු ත‍්‍රස්තයන් විනාශ කිරීමට ඍජුව දායක වූ ගෝඨාභය රාජපක්‍ෂට ද, කිසිම පදනමක් නැති නඩුවක් පවරා ඉහත කී අපරාධකරුවන්ට මෙන් සැලකූ ආකාරය එසේය. ඞී. ඒ. රාජපක්‍ෂ නඩුවේ කිසිවකු වරදකරු කිරීමට කිසිම පදනමක් නැති බව වර්තමාන පාලකයෝ දනිති. නමුත් මේ කරනුයේ හිටපු ආරක්‍ෂක ලේකම්ට අපහාස/ හිරිහැර කිරීමය. එවිට තෘප්තිමත් වන්නේ කොටි හිතවාදී, බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සහ එම දේශපාලනඥයන් ය. මුදලට ජාතිය පාවාදෙන සිංහලයන්ද එසේ තෘප්තිමත් වන කණ්ඩායමේ සිටිති.
අද හමුදාවේ හිටපු බුද්ධි ප‍්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර නිදහස් වූයේ මාස ගණනක් හිරේ ලැග්ග පසුය. යුද්ධයට දායක වූ රණවිරුවන් දෙදෙනකුව අත්අඩංගුවට ගත් ත‍්‍රස්තයෙක් මියගිය හේතුවට මරණීය දණ්ඩනයට නියම කොට තිබේ. තවත් රණවිරුවෝ විශාල සංඛ්‍යාවක් බොහෝ කලක් සිරගතවී දැන් ඇප පිට නිදහස්ව සිටින නමුත් තවම නඩු පවරා නැත. ඒ නඩු පැවරීමට තරම් පිළිගත හැකි සාක්‍ෂි නොමැති නිසාය. සමස්තයක් වශයෙන්, සෙසු රණවිරුවන්ට එරෙහිව ‘‘ බොරු සාක්‍ෂි’’ ගොනු කිරීමට ‘‘ අතුරුදන් වූවන්ගේ කාර්යාලය’’ ස්ථාපිත කොට ඇත. එසේ බොරු සාක්‍ෂි ගොනු කරන්නේ කෙසේ දැයි අප මීට ඉහත පෙන්වා දී ඇත්තෙමු. එසේම අපේ රණවිරුවන්ට ලෝකයේ ඕනෑම රටක පාහේ අධිකරණයක නඩු පැවරීමට අවශ්‍ය පියවරයන් ගැනීමට උපකාරී වන සෑම ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක්ම අත්සන් කොට ඇත. එසේම අප යුද අපරාධ කළා යැයි පිළිගෙන ඒ මත ඉදිරිපත් කළ ජිනීවා 30/1 යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය ලබාදී ඇත.
අද රනිල් වික‍්‍රමසිංහ අගමැති වන අතර රටේ ඇත්තේ, ජාතික රජයක් යැයි කියුවද ඔහු විසින් පාලනය කරන රජයකි. වසර 2001-20-03 දක්වා තිබුණේ ද, රනිල් වික‍්‍රමසිංහ අගමැති වූ එජාප රජයකි. එදා සහ අද එම රජයන් දෙකම යටතේ රණවිරුවන්ට කරන ලද අපහාස/හිරිහැර, ජාතික ආරක්‍ෂාව බාල්දු කළ අන්දම සහ කොටි ත‍්‍රස්තයාට සැලකූ අන්දම පිළිබඳව අතිශය සමාන බවක් අපට පෙනේ.
එදා 2001 දී රනිල් වික‍්‍රමසිංහ රජය කරන ලද නින්දිත මිලේනියම් සිටි පාවාදීම අපට මතකයි. එම පාවාදීමෙන් පසු හමුදා බුද්ධි අංශය අතිශයින් දුර්වල වූයේ සියලූ බුද්ධි නිලධාරීන් සහ බුද්ධි තොරතුරු සැපයූ සියල්ලන් කොටි ත‍්‍රස්තයන් විසින් අමු අමුවේ ඝාතනය කළ නිසා මෙදා ද මේ රජය කරන ලද ප‍්‍රථම කාර්යය වූයේ හමුදා බුද්ධි අංශය අකර්මන්‍ය කිරීමයි. බුද්ධි නිලධාරීන් /ප‍්‍රධානීන් කිසිම වැදගත් සාක්‍ෂියක් නැතිව හිරගෙට යැවීමය. බුද්ධි අංශයේ ධෛර්යය හීන කිරීමයි.
එදා රනිල් වික‍්‍රමසිංහ කොටි ත‍්‍රස්තවාදීන් සමග එම කුප‍්‍රකට සාම ගිවිසුම අත්සන් කළේ කැබිනට් මණ්ඩලයට ද, ජනපතිනියට ද නොදන්වා කැබිනට් අනුමැතියකින් තොර වූ තනි කැමැත්තටය. මෙදා රණවිරුවා පාවා දෙන එම කුප‍්‍රකට ජිනීවා 30/1 යෝජනාවට ඇමරිකාව සමග සම අනුග‍්‍රාහකත්වය දැක්වූයේද කිසිම කැබිනට් අනුමැතියකින් තොරව තනි කැමැත්තටය. ජනාධිපතිට ද නොදන්වාය. (එහෙව් අගමැති කෙනෙක්ව නෙරපා දැමීමට 19 ව්‍යවස්ථාව සංශෝධනය නිසා ජනපතිට නොහැක.)
එදා එම සාම යෝජනාව තුළින් ත‍්‍රස්තයා සහ රණවිරුවා සමාන තලයකට ගෙන ආ අතර ත‍්‍රස්තයන් වෙනම පළාතක් පාලනය කරන බව ලෝකයා ඉදිරියේ රජය නිල වශයෙන් පිළිගන්නා ලදි. ත‍්‍රස්තයාට සහ රණවිරුවාට ලබාදී තිබුණේ සමාන තත්ත්වයකි. මෙදා ද අතුරුදන් වීමේ කාර්යාල පනතින් රණවිරුවා සහ ත‍්‍රස්තයා සමාන තලයක දමා ඇති අතර මියගිය රණවිරු පවුලට සහ මියගිය ත‍්‍රස්තයාගේ පවුලටද දෙනු ලබන්නේ එක සමාන වන්දි මුදලකි. (මීටත් වඩා රණවිරුවාට තවත් අපහාසයක් කළ හැකිද?) එදා එම සාම ගිවිසුම මගින් කොටි ත‍්‍රස්තයන් සාමාජීය වශයෙන් ද, ආර්ථික වශයෙන් ද, යුදමය වශයෙන් ද, දේශපාලන වශයෙන්ද අතිශය ලෙස බලවත් විය. සමාජීය වශයෙන් බලවත් වූයේ උතුරේ සෑම දෙමළ පවුලකින්ම අඩු තරමේ එක් සාමාජිකයෙක් තම හමුදාවට බඳවා ගැනීමට කොටි සමත් වූ නිසාය. ආර්ථික වශයෙන් ශක්තිමත් වූයේ ඒ 9 පාරේ ගිය දහස් ගණනක් වාහනවලින්ද අන් සෑම ව්‍යාපාරයකින්ම ගත් කෝටි ගණනක මුදල්වලිනි. යුදමය වශයෙන් ශක්තිමත් වූයේ අවශ්‍ය සියලූම යුද උපකරණ, ගුවන් විදුලි සම්පේ‍්‍රෂණාගාර රජයේම අනුග‍්‍රහයෙන් ලබාගැනීමෙනි. දේශපාලන වශයෙන් ශක්තිමත් වූයේ වෙන කිසි දෙයකින් නොව තමාට එරෙහිව සියලූ දේශපාලන නායකයන් අමු අමුවේ ඝාතනය කිරීමෙනි. අපට යුදමය ජය ගැනීමට අතිශය දුෂ්කර වූයේ ද එම සාම ගිවිසුම තුළින් කොටි ඉතාම බලවත් වූ බැවිනි.
මෙදා ද අද වනවිට පසුගිය රජය අතු ගා දැමූ කොටි නැවත හිස ඔසවා ඇත. පසුගිය රජය විසින් කොට හිතවාදීන්ට/ කොටි හිතවාදී වෙබ් අඩවිවලට පනවා තිබූ තහනම ඉවත් කොට ඇත. නැවත යුද්ධයක් ඇති වුවත් සටනට නොයන තත්ත්වයට හමුදා ධෛර්ය හීන කර ඇත. ජනතාව මේ පිළිබඳව දැනුවත් විය යුතුය. ලෝකයේ කිසිදු රටක පාලකයන් මේ අයුරින් ත‍්‍රස්ත හතුරන්ගේ පැත්ත ගෙන තමාගේ හමුදාවන් මෙසේ පාවා දී නොමැත.
ඇමරිකාවේ වගේ රටක පාලකයෝ ත‍්‍රස්තයන් සමඟ සටන් කරන තම භටයන් බේරාගෙන ආරක්‍ෂා කිරීමට, විදේශීය රටවල් ආක‍්‍රමණය කිරීම ඇතුළුව ඔවුන්ට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට එසේ කටයුතු කළ විට අපේ රටේ පාලකයෝ ත‍්‍රස්තවාදීන් සමග සටන් කළ අපේ රණවිරුවන් දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් පාවා දීමට හැකි සෑම පියවරක් ගන්නේ මෙසේය. රටේ සෑම මිනිසෙක් මෙන්ම රණවිරුවෙක් වුවද වැරැද්දක් කළ විට ඊට දඬුවම් දීම එක් දෙයකි. නමුත් දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා සහ ත‍්‍රස්තවාදය විනාශ කළ හේතුවෙන් ක්‍රෝධයට පත්වී ඇති බටහිර සහ බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා කිසිදු පිළිගත හැකි සාක්‍ෂියක් හෝ නොමැතිව රණවිරුවන් රටේ සහ ජාත්‍යන්තරයේ හිරගෙට යැවීමට කටයුතු කිරීම සහ වෙනත් පදනමක් නැති බොරු නඩු පවරා ඔවුනට හිරිහැර/ අපහාස කිරීම තවත් දෙයකි.
ඇමරිකාවේ වර්තමාන ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ ආරක්‍ෂා කරනුයේ තමාගේ විරුද්ධ පක්‍ෂයේ හිටපු ජනපති බරක් ඔබාමාගේ කාලයේ ත‍්‍රස්තයන් සමඟ සටන් කළ හමුදා භටයන් ය. ජාතික කර්තවයකදී ඔවුන් කටයුතු කරන්නේ දේශපේ‍්‍රමී චින්තනයෙන් මිස දේශපාලන චින්තනයෙන් නොවේ. අපේ රටේ වර්තමාන (මෛතී‍්‍රී‍්‍ර/ රනිල්) රජය මෙසේ රණවිරුවා පාවා දෙන්නේ එම රණවිරුවන් මහින්ද රාජපක්‍ෂ රජය යටතේ යුද්ධය නිම කළ නිසා ය. එවන් නායකයන් දේශපාලන නායකයන් මිස දේශපේ‍්‍රමී ජාතික නායකයන් නොවෙති. යුද්ධයට දායක වූ සෙබළුන් ලෙස අප ලැජ්ජාවට පත්වන්නේ එම කුහක නායකයන් ගැන නොවේ. ගෝඨාභය ඇතුළු එම රණවිරුවන් මෙසේ අපහාසයට පත්කරන විටත් ඉතා සුළු කොටසක් හැර තවම නිහඬව සිටින සෙසු මහජනතාව ගැනය.
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර