අවුරුදු 70ක් තිස්සේ අධ්‍යාපනය දූෂණය කරන රටක් | Colombocall අවුරුදු 70ක් තිස්සේ අධ්‍යාපනය දූෂණය කරන රටක් - Colombocall

Hot News

අවුරුදු 70ක් තිස්සේ අධ්‍යාපනය දූෂණය කරන රටක්

අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් නැත. ආණ්ඩුව මාරු වන විට අධ්‍යාපනය වෙනස් වන අතර ඇමැතිවරු මාරු වන විට අධ්‍යාපනය වෙනස් වෙයි. අධ්‍යාපන ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ සිදු වෙයි. අපේ රටේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යනු මාර්ටින් වික‍්‍රමසිංහ ගේ නවකතාව කපා දමා එදිරිවීර සරච්චන්ද්‍රගේ නවකතාවක් එකතු කිරීම ය. නැතහොත් එදිරිවිර සරච්චන්ද්‍ර නවකතාව කපා දමා සිරි ගුණසිංහගේ නවකතාවක් එකතු කිරිමයි. මේ අපේ රටේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවල ස්වරූපයයි. වසර හැත්තෑවක් මුළුල්ලේම අපේ රටේ සිදු වූ ඛේදවාචකය එයයි.
නිදහසින් පසු ගත වූ හැත්තෑ වසරක් මුළුල්ලේ අපේ රට ගමන් කොට ඇත්තේ ආපස්සටය. කිසිදිනක සංවර්ධිත රාජ්‍යයක් වීමේ සුබ ලකුණු මේ දක්වා පෙනෙන්නට නැත. මීට බලපාන ප‍්‍රධාන හේතු සාධකයක් වන්නේ අපේ රට තුළ ස්වයංපෝෂණයක් හා ස්වාධීන චින්තනයක් ගොඩනැඟී නැති වීමයි. අපේ රටේ ඉතිහාසය මුළුල්ලේම අපි කාගෙන් හෝ යැපීමට පුරුදු වී සිටියෙමු. අතීතයේදී වහල් හිමියන් හා වහලූන්ය. රජවරුන් සහ රාජ සේවකයන්ය. පසුකලක අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ යටත් වැසියන්ය. ඉන්පසුව බලය අත්පත් කරගත් දේශපාලන පක්ෂ විසින් වහලූන් ලෙස පාලනය කරන ජනතාවක්ය. මෙහි ආදීනව ඉතාමත් තදින් මේ වනවිට අප අත්පත් කරගෙන සිටිත්. අප ලෝකයට දරන්නට බැරි තරම් විදේශ ණය කන්දරාවකට යටවී තැලීපොඩිවී දුක්විඳිමින් සිටින තත්ත්වයකට පත්ව ඇත. බොහෝ සංවර්ධිත රටවල් ගොඩනැඟීමේ කාලසීමාවේ ආරම්භක අවධියේ දී හැකි පමණ සුබසාධක පහසුකම් අඩුවෙන් ලබා දෙමින් ජනතාවගේ කාලය ශ‍්‍රමය රට ගොඩ ගොඩනැඟීම සඳහා උපයෝගී කර ගන්නා ලදි. 

ඔවුන් ජනතාවට සුබසාධන පහසුකම් ලබාදීම ආරම්භ කරනු ලබන්නේ රට ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත් වූ පසුවය. ඉන්පසු එම රටේ ජනතාවට අවශ්‍ය තරම් පහසුකම් ලබාදීමට ඔවුන් පැකිළෙන්නේ නැත. එහෙත් එසේ වූ පමණින් ම රටේ ජනතාව තුළ ස්වයං පෝෂණය හා ස්වයං චින්තනයකින් ද නිදහස් සිතුවිලි වලින් යුක්තව තම එදිනෙදා ජීවිතය ගැන සිතීමට ඇති හැකියාව ඔවුන් නැති කරන්නේද නැත. බොහෝ විට මැතිවරණ පොරොන්දුව සුබ සාධක මල්ලට විශේෂ තැනක් හිමි වෙයි. පසුගියදා අපේ රටේ එක්තරා දේශපාලකයෙකු නැවත නැවතත් සිහිපත් කළේ රටේ ජනතාවට වැඩි වැඩියෙන් සහනාධාර බෙදා දීම කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ඉදිරි මැතිවරණ තම පක්ෂය පරාජයට පත්වන බවත්ය. සැබැවින්ම මේ සහනාධාර දීමේ කලාවේ අවසානය නම් රට දිගින් දිගටම දුප්පත් සහ අගතියට පත් වීමයි.

මෙය ඉතාමත්ම බරපතළ ඛේදවාචකයක් බව දේශපාලකයින් තේරුම් නොගන්නේ ඔවුන්ට අවශ්‍ය වන්නේ තම පෞද්ගලික අවශ්‍යතා සඳහා බලයට පත්වීම පමණක් වන බැවිනි. එහෙත් මේ තත්ත්ත්වය සංවර්ධිත රටවල කිසිසේත්ම දැකිය හැකි තත්වයක් නොවෙයි. වරක් මා බටහිර ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර දකුණු දිගට වන කලාපයක සේවය කරන විට එහි එක්තරා සුවිසල් නිවසක් ඉදිරිපිට කුඩා දරුවන් දෙදෙනකු සවස් යාමේ සිසිල් බීම අලෙවි කරමින් සිටිනු මට නිරීක්ෂණය විය. මේ සම්බන්ධව මා කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ සති අන්ත නිවාඩු අවස්ථාවේදී මේ දරුවන් දෙදෙනා නිවස තුළ සිසිල් බීම සාදා ඒවා සවස් යාමයේ එම නිවස අසල ඇති ක‍්‍රීඩා පිටියට යන එන තරුණ තරුණියන්ට අලෙවි කරන බවය. දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 15ට අඩුය. ඔවුන් දෙදෙනා ගේ මාපියන් වැදගත් රැුකීරක්ෂාවල නිරත වන්නෝ ය. එහෙත් මේ දරුවන් දෙදෙනා මේ කරන්නේ කුමක්ද? දරුවන් දෙදෙනා තමාගේ එදිනෙදා කුඩා වියදම් පාසලේ ආපන ශාලාවෙන් ආහාර ලබාදීමට අවශ්‍ය කරන මිල මුදල් ආදී කුඩා කුඩා වියදම් සඳහා තමන්ට හැකි පමණ ස්වයං රැුකියාවක් කොට කුඩා කාලයේ සිටම අනුන්ට අත නොපා තනිවම නැගී සිටීම සඳහා පුරුදු පුහුණු වීමකි ඒ. අපේ රටේ මෙවැනි දෙයක් සිදු වූවා නම් කුමකින් කුමක් වෙයිද? තාත්තාට ලැජ්ජා කරන්න එපා, පාරවල් ගානේ අඔහොම බීම විකුණන්න එපා, මොකක්ද ඔය කරන වැඬේ? ගෙදර ගිහිල්ල පොතක් පතක් බලාගන්න ආදී නොයෙකුත් චෝදනා වලට මේ දරුවන්ට මුහුණපෑමට සිදුවේ. එයින් නොනැවතී නෑදෑයින් පවා දෙමාපියන්ට චෝදනා කරනු ඇසිය හැක. ඔච්චර සල්ලි මොකටද අර දරුවෝ පාරට දාලා දරුවන්ට කියලා හම්බකරගන්න දරුවන්ට උගන්නන්න සල්ලි නැතුවද දරුවන්ට කියලා හම්බකරගන්න ආදී බොහෝ දේ වලට ලක්වීමට දෙමවුපියන්ට සිදුවෙයි.

එහෙත් එවැනි කතා කිසිවක් මෙහි සිදුවන්නේ නැත. මේ දරුවන් දෙදෙනා ස්වකැමැත්තෙන් විනෝදාස්වාදයක් ලෙස ද තමාගේ ජීවිතයද තමාගේ ජීවිතයේ ගොඩනැගීමේ පෞරුෂත්ව ලක්ෂණයන් වර්ධනය කරගැනීම සඳහාද සමාජය සමග ගනුදෙනු කරන විදිය කුඩා කල සිටම ව්‍යාපාර කළමනාකරණය හුරු වීම ආදී බොහෝ දේ මෙම කුඩා ව්‍යාපාර පවත්වාගෙන යාමෙන් මේ දරුවෝ ඉගෙන ගනිති. අපේ රටේ නම් එවැනි දෙයක් සිදු වූ විට සමහර විට කම්කරු නිලධාරීන් ද දිවැවිත් දරුවන්ට කියලා හම්බකරගන්නවා කියා දෙමාපියන්ට විරුද්ධව නඩු පවරනවා දැකිය හැක. ඔස්ටේ‍්‍රලියාවේ කම්කරු නීතිය තදින් ක‍්‍රියාත්මකය.

අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමවේදය රටේ සංවර්ධනයට උචිත පරිදි වෙනස් විය යුතුව ඇත. අවාසනාවට මෙන් අපේ රටේ බොහෝ රාජ්‍ය නිලධාරීන් රුපියල් මිලියන ගණන් වියදම් කොට විදේශ සංචාරවල නිරත වන නමුත් නූතන අධ්‍යාපන ක‍්‍රමවේදයන් ගැන හෝ සංවර්ධිත රටවල ජනතාව විද්‍යා තාක්ෂණය සමඟ ලෝකයේ සංවර්ධනය සඳහා ප‍්‍රතිපත්ති සමගාමීව සකස් කරන අන්දම ගැන ප‍්‍රායෝගික අත්දැකීම් ලබා නොගන්නේ මන්දැයි විශාල ගැටළුවකි. රටේ අධ්‍යාපන බලධාරීන් වාර්ෂිකව විදෙස් සංචාරවල නිරත වී ඔවුන් ලබාගන්නා දැනුම රටේ අධ්‍යාපන ක‍්‍රියාවලියට බද්ධ කිරීමට තරම් දැනුමක් හෝ පෞරුෂයක් මේ කිසිදු බලධාරියකුට නැත.

දැනට වසර තිස් ගණනකින් අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමවේදය රටට ගැළපෙන පරිදි වෙනස් වී නැත ගල්කූරෙන් ගල්ලෑල්ලේ අධ්‍යාපනය හැමදාම කළ යුතු යැයි කල්පනා කරති. ජපානය තායිලන්තය මැලේසියාව සිංගප්පූරූරුව ඇතුළු ආසියාතික රටවල් ද අනෙකුත් සංවර්ධිත යුරෝපීය රටවල අධ්‍යාපන ක‍්‍රමවේද රටේ සංවර්ධනය සෘජුවම බලපාන අන්දමට වී ඇත. එහෙත් අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමය සකස් සකස් වී ඇත්තේ විභාග සමත් කරවීම් සඳහා වන කටපාඩම් ක‍්‍රමවේදයක් හරහා ය. අපේ රටේ විෂයමාලා සකස්ව ඇත්තේ විභාග සමත් වීමේ ක‍්‍රමවේදයකට මිස රටේ සංවර්ධනයට සෘජුව බලපාන කරුණු සම්බන්ධව අවබෝධයකින් නොවෙයි. දරුවන්ට ඔවුන්ගේ ජීවන කුසලතා අත්දැකීම් හා පෞරුෂ නිර්මාණයට මඟ පාදන අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස අපේ රට ලෝකයේ සංවර්ධිත රටවලට වඩා තවමත් දශක ගණනාවක් පිටුපසින් සිටින්්නේ එවන් පසුබිමක් අප රට තුළ එවැනි ක‍්‍රමවේදයක් නොමැති නිසාය. ඒ තත්ත්වය අප විසින් අවබෝධ කරගත යුතුව ඇත. අපේ රටේ අධ්‍යාපන බලධාරීන් මේ ගැන කල්පනා නොකොට සාම්ප‍්‍රදායික රාමුව තුළ කරපින්නා ගෙන එගොඩ මෙගොඩ අරමුණක් නොමැතිව පීනා යෑමෙන් ඵලක් නැත. අපේ අම්මලා තාත්තලා ද මේ ගැන කල්පනා කළ යුතුව ඇත. විභාගයෙන් අපේ රට ගොඩ දැමිය නොහැක. 

සංවර්ධිත රටවල දරුවන් ඉගෙන ගන්නේ ඩෙස් බංකුවල වාඩිවී නොවේ. පාසල් ආරම්භයේ සිට අවසන් වනතුරුම ඩෙස් බංකු රත් කරමින් ගණන් හදන්නේ නැත. අකුරු ලියන්නේ නැත. දරුවෝ පැදුරු එලාගෙන බිම වාඩිවී ගුරුවර ගුරුවරියන් සමඟ තම ජීවිතය ගැන කතාකරති. සතා සීපාවා ගැන කතාකරති. සාහිත්‍යය ගැන කතාකරති. විද්‍යා හා තාක්ෂණය ගැන කතා කරති. තම තමන්ගේ අත්දැකීම් හුවමාරු කරගනිති. තමාගේ ජීවිතයේ හෙට දවස ගොඩනැෙඟන අන්දම ගැන කතාකරති. ඔවුන්ට වැදගත් වන්නේ එම රසයයි. මෙම අධ්‍යාපන ක‍්‍රමය දී ඔවුන්ට අධ්‍යාපනය නීරස නොවී ඔවුන් අතින් අල්ලා ඉංග‍්‍රීසි අකුරු උගන්වන්නේ නැත. ගණන් හදන්නට උගන්වන්නේ නැත. ඒවා දරුවා ක‍්‍රමානුකූලව ඉගෙනගනිති. ඒ සම්බන්ධව වද වන්නේ ද නැත. විද්‍යාව සහ තාක්ෂණය දියුණු අවධියක පැවතියද ගීත සාහිත්‍යය, ලේඛන කලාව, විද්‍යා සාහිත්‍යය වේදිකාව සහ ගායනය නාට්‍ය ආදී සාහිත්‍ය කලා ක‍්‍රමෝපායන් වලින් දරුවා ඈත් කොට නැත. ප‍්‍රාථමික පන්තියේ සිටම පුස්තකාල වලට ගොස් කියවීමට හුරු පුරුදු පුහුණු කරයි. විද්‍යාව සහ තාක්ෂණය සමඟ ඉදිරියට යන්නේ පොතපත හා සාහිත්‍යය පිළිබඳව සංවේදීභාවයක් ද අතැතිවය.

මෙම රටවල කෙතරම් පරිගණක තාක්ෂණය තිබුණද ප‍්‍රාථමික පන්තියේ සිටම දරුවන් පුස්තකාල අධ්‍යාපනයට හුරු කරවති. ඒ ලෝකය ගැන දැකීමට ඇති නිසාය. නිර්මාණාත්මක හැකියාවන් වර්ධන කරගත් නිසාය. ඉවතලන දේවලින් විවිධ ද්‍රව්‍ය තැනීමට දරුවන් පුරුදු පුහුණු කර අහස් යානා රොකට් යානා මෝටර් රථ ආදී සෑදීමට පුරුදු පුහුණු කරයි. දරුවාට ළමා කාලය භුක්තිවිදීමට උපරිම නිදහසක් ලබා දී ඇත. ප‍්‍රාථමික පන්ති අවසාන කාල සීමාව දක්වා ම දරුවන්ට ගෙදර වැඩ කියා දෙයක් ඇත්තේම නැත. 

ටියුෂන් පන්ති කියා දෙයක් ඇත්තේම නැත. පාසල් අධ්‍යාපනයට අමතරව සාහිත්‍යය, සංගීතය, පිහිනුම් ආදී නිර්මාණ කුසලතා සඳහා දරුවන් යොමු කිරීමට වැඩි අවස්ථාවක් ලබා දී ඇත. පාසල් අධ්‍යාපනය තුළ ඉතා විශිෂ්ට ලෙස අධ්‍යාපනය ලබාදෙන නිසා ටියුෂන් පන්ති කුමකටදැයි ඔබ ප‍්‍රශ්න කරන්නට ද පුළුවන. ඉතින් මා ප‍්‍රශ්න කරන්නේ අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමය පාසල් අධ්‍යාපනය තුළ නිසි ප‍්‍රමිතියකට නැත්නම් එයට ඇති විකල්පය ටියුෂන් පන්ති ආරම්භ කිරීම නොවෙයි. පාසල් අධ්‍යාපනයේ ප‍්‍රමිතිය වැඩි වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම ය. අවාසනාවට මෙන් අධ්‍යාපන බලධාරීන් මෙන්ම ඊනියා වෘත්තීය සමිති අටවා ගත් පුද්ගලයින් ද පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට උනන්දු වන්නේ නැත. සිදුකරනුයේ තව තවත් රජයේ පාසල්් අධ්‍යාපනය කඩා බිඳ දමා තම ගජ මිතුරන්ගේ පන්ති වැඩි වර්ධනය කිරීමට වක‍්‍රාකාරයෙන් මග පෑදීමය. 

අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් නැත. ආණ්ඩුව මාරු වන විට අධ්‍යාපනය වෙනස් වන අතර ඇමැතිවරු මාරු වන විට අධ්‍යාපනය වෙනස් වෙයි. අධ්‍යාපන ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ සිදු වෙයි. අපේ රටේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යනු මාර්ටින් වික‍්‍රමසිංහ ගේ නවකතාව කපා දමා එදිරිවීර සරච්චන්ද්‍රගේ නවකතාවක් එකතු කිරීම ය. නැතහොත් එදිරිවිර සරච්චන්ද්‍ර නවකතාව කපා දමා සිරි ගුණසිංහ ගේ නවකතාවක් එකතු කිරිමයි. එසේ නැතහොත් මහගමසේකරගේ කවියක් ඉවත් කොට මොනිකා රුවන්පතිරණ ගේ කවියක් එකතු කිරීමයි. එසේ නැතහොත් සාගර පලන්සූරිය කවි ඉවත්කොට නූතන යුගයේ කවියකු ගේ ප‍්‍රබන්ධයක් එකතු කිරීමයි. මේ අපේ රටේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වල ස්වරූපයයි. වසර හැත්තෑවක් මුළුල්ලේම අපේ රටේ සිදු වූ ඛේදවාචකය එයයි. 

දැන් නම් අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධව අශ්වයා පැනගොස් බොහෝ කල්ය. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමා ඵලක් නැත. අපේ රටේ අධ්‍යාපනය ඉහළම සුදුසුකම් ලබන සියලූ දෙනාම අපේ රට හැරදා විදෙස්ගත වන්නේ ඒ නිසාය. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිරත වන වෘත්තීය සමිති පවා කෑ ගසන්නේ තමන් ගේ වැටුප් වැඩිකර ගැනීමටය. තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ඕනෑ එපාකම් අනුව පමණි. සැබෑ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යනු කුමක්දැයි බොහෝ දෙනකු දන්නේ ද නැත. නිදහස් අධ්‍යාපනය සුරැුකීමේ යැයි කියා බෝඞ් අල්ලා ගත් පමණින් රටේ අධ්‍යාපනය සුරක්ෂිත වන්නේද නැත. අද අපේ රටේ අධ්‍යාපනයෙන් සියයට 60 කට වැඩි ප‍්‍රමාණයක් පෞද්ගලික අංශය විසින් අත්පත් කරගෙන ඇති බව යථාර්ථය අප විසින් පිළිගත යුතු ව ඇත. ටියුෂන් අධ්‍යාපනයට අප විරුද්ධ නොවෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පමණක් විරුද්ධ වන අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාර පවා අධ්‍යාපනය මේ ඛේදවාචකයේ දකින්නේ නැත. ඔවුන්ට අනුව අපේ රටේ තිබිය යුත්තේ නිදහස්් අධ්‍යාපනය පමණින් කියනවා නම් ඉතා දුෂ්කර පළාත් වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන දරුදැරියන්ට අපේ රටේ සාමාන්‍ය පංතියේ මධ්‍යම පාන්තික දරුවන්ට නවක වදය ලබා දීමට අවශ්‍ය කරන අවකාශය සහිත පරිසරයක් පමණක්ය සඳහා විශ්වවිද්‍යාල තිබුණම හොඳටම ඇතිය. දැන් සිදුවන්නේ එයයි. 

ආණ්ඩු මාරු වෙයි. අධ්‍යාපන ඇමතිවරු මාරුවෙයි ශිෂ්‍ය ව්‍යාපාර මාරුවීම නිදහස් අධ්‍යාපනය දේශපාලන සටන් පාඨයක් ලෙස වෘත්තීය සමිති අතර මාරුවෙයි. ඒත් අපේ රටේ අධ්‍යාපනය දිනෙන් දින යළි ගොඩගත නොහැකිලෙස මියයමින් සිටියි. 

වහල් ගෝත‍්‍රික මානසිකත්වයෙන් අප මිදිය යුතුයි. මේ බව තේරුම් ගන්නා දැනුම් තේරුම් නැති මධ්‍යම පාන්තිකයින් තම තමන්ගේ දරුවන් විදේශීය අධ්‍යාපනය සඳහා යොමු කිරීමයි දැන් සිදු වන්නේ. රට බුද්ධිමය කාන්තාරයක් බවට පත්වීම ආරම්භ වී බොහෝ කල්ය. තව ටික කලකින් අපේ රටේ ඉතුරුවෙන්නේ රොඩු ටික පමණි. ඔවුන්ට රැුකියා අවස්ථාව සඳහා දියවන්නාවේ පාර්ලිමේන්තුව නම් ගොඩනැගිල්ලක් ඇත.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
මහා බි‍්‍රතාන්‍යයේ සවුත් වේල්ස් සරසවියේ සෞඛ්‍ය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය