ගණිකා වෘත්තියේ යෙදීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදුණු 24 හැවිරිදි තරුණිය | Colombocall ගණිකා වෘත්තියේ යෙදීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදුණු 24 හැවිරිදි තරුණිය - Colombocall

Hot News

ගණිකා වෘත්තියේ යෙදීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදුණු 24 හැවිරිදි තරුණිය


1958 මැයි පළමු වෙනි දින උතුරු ඉන්දියාවේ අලහාබාද් නගරයේ පිහිටි අධිකරණ ශාලාවක් තුළ සිටි තරුණ කාන්තාවක් දෙස සියලු දෙනාගේම නෙත් යොමු වී තිබිණි.




හුස්නා බායි නම් මෙම 24 හැවිදිරි කාන්තාව, විනිසුරු ජදීෂ් සහායිට පැවසුවේ තමන් ගණිකාවක් බවය. ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කරමින් හඳුන්වා දී ඇති නව නීතියට අභියෝග කර, ව්‍යවස්ථාවේ දැක්වෙන කරුණු ද සඳහන් කරමින් ඇය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.



"මේ නව නීතිය නිසා ව්‍යවස්ථාවෙන් ගොඩ නගන රාජ්‍ය සුබසාධනයේ අරමුණ අවුල් වෙලා යනවා" යැයි සිය ජීවන වෘත්තිය අහිමිවීම පිළිබඳ කරුණු දක්වමින් හුස්නා බායි පැවසීය.



ගණිකා වෘත්තියේ යෙදෙන දිළිඳු මුස්ලිම් කාන්තාවක් සමාජ මතයට එරෙහිව සිදු කරන අරගලයක් ලෙස මෙය දැක්විය හැකිය. ගණිකා වෘත්තීය සිවිල් සමාජය තුළ තහනම් කිරීමෙන් පසු වීදි සරණ කාන්තාවන් පත් වී ඇති ශෝචනීය තත්වය පිළිබඳ සොයා බලන ලෙස ඇය විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.



නිල වාර්තාවලට අනුව 54,000ක්ව සිටි ඉන්දියාවේ ගණිකාවන් සංඛ්‍යාව 1951දී 28,000 දක්වා අඩු වී තිබේ. එමෙන්ම, ඔවුන්ට ලැබුණු මහජන සහයෝගය ද අවම වී ඇත. මෙම ගණිකාවන් එක් වී ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයට ආධාර ලබා දුන් අවස්ථාවේ දී මහත්මා ගාන්ධි ඒවා භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. මෙම කාන්තාවන් ද රැකියාවක නිරත වී මුදල් උපයා, දේපළ හිමිකරගෙන, අදාළ බදු ගෙවා ජීවත් වන පිරිසක් බව සැලකිල්ලට ගෙන නැත.



හුස්නා බායිගේ පෞද්ගලික ජීවිතයේ වැඩිදුර තොරතුරු සහ ඡායාරූප හෙළි වී නොමැත. ඇය වාසය කළේ ඥාති සොහොයුරියක සමගය. ඇය උපයන මුදලින් සිය බාල සොහොයුරන් දෙදෙනා ජීවත් කරවීමට වෙහෙස වේ තිබේ.



ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කළ නීතිය හඳුන්වාදීමත් සමග එම වෘත්තියේ යෙදෙන්නන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත් විය
ගණිකාවක් වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැඳුණු හුස්නා බායිගේ කතාව යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයෙකු වන රෝහිත් ඩී ලියූ ග්‍රන්ථයේ කොටසක් ලෙස ඇතුළත් කර තිබිණි. ඇය ගැන වැඩි තොරතුරු නොමැති නිසා අධිකරණ වාර්තාවල සඳහන් වූ දේ පමණක් ග්‍රන්ථයට ඇතුළත් කර තිබිණි.



හුස්නා බායි අධිකරණයට ඉදිරිපත් කළ මෙම පෙත්සම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සේම මහත් ආන්දෝලනයක් ද ඇති විය.



දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් සිදු කළ සංවාදවලින් "අති විශාල කොළ මිටි" පිරී ගියේය. අලහබාද් ප්‍රදේශයේ ගණිකාවන් පිරිසක් සහ කාන්තා නර්තන කණ්ඩායම් සංගමයක් මෙම පෙත්සමට ප්‍රසිද්ධියේ සහය පළ කරනු දක්නට ලැබිණි.