දුර්වල නායකත්වය හමුවේ ඇෆ්ගනිස්ථානය ඉදිරියේ ශ්‍රි ලංකාව අන්ත පරාජයකට පත් වූ හැටි | Colombocall දුර්වල නායකත්වය හමුවේ ඇෆ්ගනිස්ථානය ඉදිරියේ ශ්‍රි ලංකාව අන්ත පරාජයකට පත් වූ හැටි - Colombocall

Hot News

දුර්වල නායකත්වය හමුවේ ඇෆ්ගනිස්ථානය ඉදිරියේ ශ්‍රි ලංකාව අන්ත පරාජයකට පත් වූ හැටි



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. මෙම තරගයේදී ලද පරාජයත් සමග ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.2 ක් අවසානයේ ලකුණු 158 කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රෂීඞ් ඛාන්, ගුලාබ්ඩීන් නබී, මොහොමඞ් නබී සහ මුජිබ් උර් රෙහෙමාන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.

මුලු ලකුණු 0 තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණ අතර එහිදී කුසල් මෙන්ඩිස් දැවී ගියේ මුජීබ් උර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී මුහුණදුන් පළමු පන්දුවේදීම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ලකුණු නොළබා දැවී ගිය කුසල් මෙන්ඩිස්, මෙම තරගයේදී ලකුණු නොළඹා දැවී ගියේ මුහුණදුන් දෙවැනි පන්දුවේදීය.

මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් අනතුරුව උපුල් තරංග (36) සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ධනංජය ද සිල්වා සමත් විය. එහෙත් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවෙමින් ධනංජය දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

මුලු ලකුණු සංඛ්‍යාව 86 ක් වන විට කුසල් පෙරේරාගේ (17) කඩුල්ල බිඳ දැමීමට රෂීඞ් ඛාන් සමත් වූ අතර කුසල්ගේ දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට තවත් ලකුණු 2 ක් එක්වන විට උපුල් තරංගද පිටියෙන් ඉවත්ව ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරු තත්වයකට ඇදදමමිනි. තරමක් මන්දගාමී පිතිහරඹයක නිතර වූ තරංග දැවී ගියේ ගුලාබ්ඩින් නබීගේ පන්දුවක් හමුවේ නායක අස්ගර් ඇෆ්ගන් අතට උඩ පන්දුවක් දෙමිනි. දැවීයන විට පන්දු 64 කට මුහුණදී සිටි තරංග සිය ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත කර තිබිණ.


සිය සුපුරුදු ප්‍රවේගකාරී පිතිහරඹයෙන් මිදී නිසි ලෙස තෝරා බේරාගෙන පන්දුවට පහරදුන් තිසර පෙරේරා, ගුලාබ්ඩීන් නබීගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට පන්දු 36 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249 ක් ලබාගත්තේය. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වූ රාමට් ෂා, පන්දු 90 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 72 ක් රැස්කරමින් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කොඳු නාරටිය බවට පත් විය.

හෂ්මතුල්ලා ශහීදි (37) සමග එක්ව ඇෆ්ගනිස්ථාන ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෂා සමත් විය.

මෙය ෂාගේ 12 වැනි අර්ධ ශතකය වන අතර එය ලබාගැනීමත් සමග ඔහු ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩිම අර්ධ ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්විය. ලකුණු 56 ක් ලබා සිටියදී ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුවක් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි දසුන් ශානක අතින් ගිළිහී යෑමත් සමග ෂාට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.

මුලු ලකුණු සංඛ්‍යාව 190 ක් වන විට දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් රාමට් ෂා දැවී යෑමත් සමග ඇෆ්ගනිස්ථාන ඉනිමේ සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටිණ. එතැන් පටන් ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුවට තවත් ලකුණු 13 ක් එක්වන විට හෂ්මතුල්ලාගේ කඩුල්ලද බිඳ දැමීමට තිසර පෙරේරා සමත් විය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා නොදුන් අතර ඇෆ්ගනිස්ථාන ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 27 ක් තුළ බිඳ වැටිණ. ලකුණු 15 ක් ලබා සිටි මොහොමඞ් නබී, ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් 6 වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ විය.

ඉන් අනතුරුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි පිතිකරුවන් සිවුදෙනාම තිසර පෙරේරාගේ ගොඳුරු බවට පත් වූ අතර ඉන් තිදෙනෙක්ම දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. ඒ සමගම මෙම තරගයේදී තිසර දවාගත් කඩුලු සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගිය අතර ඔහු එක්දින තරගයකදී කඩුලු 5 ක් දවාගත් සිවුවැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.

පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක් ලබා සිටි ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් අකිල ධනංජය, ඇෆ්ගනිස්ථාන ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 57 කට සීමා කළේය.

ශේෂාඞ්ගේ දැවී යෑමෙන් අනතුරුව රාමට් ෂා (නොදැවී 21) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉසනුල්ලා ජානට් (45) දැවී ගියේද අකිලගේ පන්දුවක් හමුවේ මුවා කිරීමේ වරදට හසුවෙමිනි. එය දැවී යෑමක් නොවන බවට ප්‍රධාන විනිසුරුවරයා සංඥ්ඥා කළද, විනිසුරු තීරණ විමසීමේ අවස්ථාව ලබාගැනීමට මැතිව්ස් පියවර ගැනීමෙන් අනතුරුව ඉසනුල්ලා දැවී ගිය ක්‍රීඩකයකු බව සනාථ විය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක අස්ගර් ඇෆ්ගන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබුණ අතර ෂෙහාන් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඇෆ්ගනිස්ථාන ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණි.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල් සහ අමිල අපොන්සු යන ක්‍රීඩකයන්ට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමි වූ අතර ඔවුන් වෙනුවට අකිල ධනංජය, දුෂ්මන්ත චමීර සහ ෂෙහාන් ජයසූරිය කණ්ඩායමට කැඳවා සිටියහ.