කංසා වගා කිරීම සඳහා රාජිත සැරසෙයි | Colombocall කංසා වගා කිරීම සඳහා රාජිත සැරසෙයි - Colombocall

Hot News

කංසා වගා කිරීම සඳහා රාජිත සැරසෙයි



කංසා වගා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍යතාවය මත මෙම ඉල්ලීම සිදු කල බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී අද (13)  පෙරවරුවේ පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කැනඩාව, මහා බ්‍රිතාන්‍ය කංසා සඳහා තිබූ තහනම මේ වන විට ඖෂධ නිෂ්පාදනය සඳහා ඉවත් කර ඇති  බවයි.

ශ්‍රී ලංකාවේ ද කංසා තහනම් කර ඇති අතර, එය දුමක් ලෙස ඉරීමෙන් ගැටලුවක් වන බවත්, ඖෂධීය පානයක් ලෙස භාවිත කිරීමෙන් ගැටලු ඇති නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ඊශ්‍රාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර කංසා සමුළුවක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය වෛද්‍යවරුන් යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානම් වන අතර, එම සමුළුවට සහභාගි වන වෛද්‍යවරුන් කංසා වගා කිරීම සහ අලෙවිය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙනවා.

අනවසර ලෙස කංසා වගා කර ඇති බිම් වටලා පොලීසිය විසින් අත්පත් කර ගන්නා කංසා කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබාගැනීමේ වැඩපිළිවෙළක් ද අධිකරණ අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළීබද අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සාකච්ඡා කර සකස් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.