අගමැති සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්! | Colombocall අගමැති සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්! - Colombocall

Hot News

අගමැති සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්!





අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා හමුවුවා. ඒ හැනෝයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අතරවාරයේදීයි. මෙහිදී අන්‍යෝන්‍ය ආයෝජන ආරක්‍ෂණ ගිවිසුමක් සකස් කරලීම සම්බන්ධයෙන් සාකච්චා කෙරුණා.

ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට කාම්බෝජයේ ව්‍යාපාර ආරම්භ කරලීම සඳහා ඉඩ සලසා දීමට කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා ආරාදනා කළා. ඔහු කියා සිටියේ ඒ සඳහා සියළු පහසුකම් ලබා දීමට තම රජය කැමැත්තෙන් සිටින බවයි. තවද දෙරට අතර ව්‍යාපාර කටයුතු ආරම්භ කරලීම සඳහා මූලිකත්වය ලබා දිය යුතු බව ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියා.

දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කරලීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික හා රාජකාරි ගමන් බලපත්‍ර වීසා වලින් නිදහස් කරලීමට සහ ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද අග්‍රාමාත්‍යවරු එකඟත්වයකට පැමිණ තිබෙනවා.

එහිදී 1979 වසරේ සිය ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා, ඒ අවස්ථාවේදී වැඳ පුදා ගත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව ද සිහිපත් කිරිමටද අමතක කර තිබුනේ නැහැ.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්තා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මින්ද මෙම අවස්තාව සඳහා සහභාගී වූවා.