චිත්‍රාංගනී නුදුටු බොරැල්ල කනත්තේ පාලකයා දුටු විජේවීර ඝාතනය ! | Colombocall චිත්‍රාංගනී නුදුටු බොරැල්ල කනත්තේ පාලකයා දුටු විජේවීර ඝාතනය ! - Colombocall

Hot News

චිත්‍රාංගනී නුදුටු බොරැල්ල කනත්තේ පාලකයා දුටු විජේවීර ඝාතනය !

‘‘ආදාහනාගාරය ඉදිරිපිට සිමෙන්ති පොළොවේ උඩුබැලි අතට වැටිලා තිබුණු බොඩි දෙකෙන් එකක් පෙන්නලා රොනී මහත්තයා මගෙන් ඇහුවා මෙයාව අඳුරනවද කියලා… මම කිව්වා අඳුනන්න බෑ කියලා. එතකොට රොනී මහත්තයා කිව්වා මෙයා තමයි රෝහණ විජේවීර කියන්නේ කියලා. අනිත් කෙනා හේරත් කියලා කෙනෙක් කිව්වා. මම බිරන්තට්ටු වුණා. මට හිතවත් ගෝලයා විතරයි ඉන්නේ. මේ මළමිනී දෙක පිච්චුවට පස්සෙ අපේ ඉරණම මොකක් වෙයිද… යමක් අහන්නවත්… කියන්නවත් වචන පිට වුණේ නෑ මුව ගොළු වුණා. ඒත් කරන්න කිසිම දෙයක් නෑ. වෙන දේ බලාගෙන හිටියා…’’
‘‘එක් පොලිස් නිලධාරියෙක් මළ මිනී දෙක වටේ යමින් ඒ මේ අතට පින්තූර ගත්තා. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බොඩි දෙකේ කලිසම් සාක්කු පරීක්‍ෂා කළා. රෝහණ විජේවීර මහත්තයාගේ එක සාක්කුවක තිබිලා සල්ලි වගයක් ගත්තා. ඒ පොලිස් නිලධාරියා අනිත් පැත්තට ඒ සල්ලි ටික රොනී මහත්තයාට ගෙනත් දුන්නා. රොනී මහත්තයා කිව්වා ඔය සල්ලි සේරම ගුණතිලකට දෙන්න කියලා.
පොලිස් නිලධාරියා මට සල්ලි දික් කරන්න ඉස්සර වෙලා මම කිව්වා ඔය සල්ලි මේ වැඬේට මහන්සි වෙන කෙනාට දෙන්න කියලා. පස්සේ ඒ සල්ලි ටික රොනී මහත්තයා අරගෙන කොටසක් ගෝලයාට දුන්නා. ඉතිරි ටික මගේ සාක්කුවට දැම්මා. ඒ මොහොතේ මම අන්ත අසරණයි. මට සල්ලි එපා කියන්න බෑ. මෝල ඇරලා තියෙන වේලාවේ මාවත් ඒක ඇතුළට දාන්න මහ වෙලාවක් යන්නේ නෑ. ඒ නිසා දෙන දේ අරගෙන, වෙන දේ බලාගෙන හිටියා. එහෙම ඔලූව පහත් කරපු නිසා තමයි අද මෙහෙම බණ, භාවණා කරගෙන සසර ගමන කෙටි කරගන්න අවස්ථාවක් ලැබුණේ…’’
‘‘මගේ ගෝලයා මෝල ඇරලා සේරම සූදානම් කර දුන්නට පස්සේ පොලිස් නිලධාරීන් හතර දෙනෙක් රෝහණ විජේවීර මහත්තයාගේ අත් දෙකෙනුයි, කකුල් දෙකෙනුයි අල්ලලා පද්දලා මෝලට වීසි කළා. ඒත් මෝලට වැටුණේ නෑ. ‘දඩස්’ ගලා සිමෙන්ති පොළවට වැටුණා. මගේ හිත හෝස් ගාලා පත්තු වුණා. මැරුණු තිරිසන් සතෙකුටවත් එහෙම කරන්න බෑ. සතෙක්ව වළ දාන්නෙත් ඉටි කොල කෑල්ලක හරි ඔතලා. විජේවීර මහත්තයාගේ බොඩිය දෙසැරයක් මෝලට වීසි කළා. දෙපාරම වැටුණේ බිමට. බලාගෙන ඉන්න බැරිම තැන චුට්ටක් ඉන්න කියලා, පැත්තකට දාලා තිබුණු ට්‍රෝලියක් ගෙනත් මේකෙ තියලා තල්ලූ කරන්න කියලා මම කිව්වා…’’
‘‘මළ මිනියක් කියන්නේ හරියට වැළ මදුලක් වගෙයි. පද්දලා වීසි කරන්න, කෙළින් කරන්න බෑ. බිත්තිවලට හේත්තු කරලා තියන්නත් බෑ. ඒ ආපු පොලිස් නිලධාරීන්ට ඒක තේරුණේ නෑ. ඒ වගේම ඒ නිලධාරීන් එතැන හැසිරුණේ මළ මිනී දෙක සම්බන්ධයෙන් බද්ධ වෛරයෙන්. බොඩි දෙක මෝලට වීසි කරන්න බැරි වෙච්ච නිසා පොලිසියේ අය අපි කියපු විදිහට මිනී දෙකම ට්‍රෝලියේ තියලා මෝල ඇතුළට තල්ලූ කළා. යකඩ දොරවල් වහලා මෝල ස්ටාර්ට් කළා. මෝල ඇතුළේ ගිනි දලූ පිට වෙනවා දැක්කා. ඒත් විජේවීර මහත්තයාගේ හුමාලයවත් දකින්න නැති වුණා. දුම් රොටුත් අඳුරු අහසට එකතු වුණා. බොඩි දෙක පිච්චිලා මෝල ඇතුළේ ගින්දර නිවිලා යනකම් පොලිස් නිලධාරීන් හිටියා. ඒ වෙනකොට ඔවුන් හිටියේ යුද්ධයක් ඉවර කරපු වීර හමුදාවක් වගේ සතුටින්.
‘ඒ කරදරයත් ඉවරයි… දැන් නිදහසේ ?ට නිදාගන්න පුළුවන්…’ එක පොලිස් නිලධාරියෙක් කියනකොට අනිත් අයත් හූමිටි තිබ්බා… ඒ අතරේ රොනී මහත්තයා මගේ ළඟට ඇවිත් කිව්වා මෙතැන සිද්ධ වෙච්ච කිසිම දෙයක් අද ?ට රජයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරනකම් කාටවත් දැනගන්න බෑ. මෙතැන ඉන්න සියලූ දෙනා ඒ වගකීම අකුරටම ඉෂ්ට කරන්න ඕනෑ කියලා හැමෝටම ඇහෙන්න කිව්වා. වෙන කවුරුහරි දැනගත්තොත් තමුන්ලා වගකියන්න ඕනෑ කිලයත් කිව්වා.
මරණ සහතිකය අපි පස්සෙ ගෙනත් දෙන්නම්. මේ මිනී අළු ටික කාටවත් දෙන්න එපා! එහෙම නම්. ගුණතිලක මහත්තයට සුබ උදෑසනක්. අපි ගිහිල්ලා එන්නම්… රොනී මහත්තයා ජීප් එකට නැඟලා ගියාට පස්සෙ, ඉතිරි පොලිස් නිලධාරීන් ටිකත් වාහනවල නැඟලා කනත්ත භූමියෙන් පිට වෙලා ගියා. පාන්දර තුනයි තිහ විතර වෙනකොට විජේවීර මහත්තයාගේ අවමඟුල් කටයුතු සේරම අහවර වුණා…’’
‘‘මෙතැන වෙච්ච කිසිම දෙයක් පිටකෙනකුට දැනගන්න බෑ කියලා කෙළින්ම කිව්වේ මටයි, මගේ ගෝලයටයි. ඒ වචන ටික ඇහෙනකොටත් මට බය හිතුණා. එතැන හිටිය පොලිස් නිලධාරියෙක් කටවාචාලකමට හරි වෙන කෙනෙකුට සිද්ධිය ගැන කෙළපිඬක් හෙළුවොත් කෙලින්ම අහුවෙන්නේ අපි දෙන්න. ආදාහනාගාරයේ දොරකඩ සිමෙන්ති පොළවේ හිඳගත් මම වෙච්ච සිද්ධිය ගැන කල්පනා කළා. මගේ ගෝලයත් අරලිය ගස් මුලකට හේත්තු වෙලා අන්ධකාරය දෙස බලා හිටියා…’’ ගිහි ජීවිතයේ අඳුරුතම මතකය ආවර්ජනය කරමින් සිටි සාරානන්ද ස්වාමීන් වහන්සේගේ දෙනෙත් ඈතට පාවී ගියා. අප අතර දැඩි නිහඬතාවකි.
රාත‍්‍රිය පුරා සීතල සුළං සමඟ පොරබැදි ගහ කොළ ගල් වූ ගානය. සතෙකුගේ උඩු බිරුමක්වත් නොඇසුණු බොරැල්ල කනත්ත දැඩි නිහඬතාවක ගිලී තිබිණි. විජේවීර සහෝදරයාට අත් වූ කෲරතර ඉරණම දැක සොබාදහම පවා කම්පනයට පත් වී සිටින ගානය. දෙතැනක තනිව කල්පනා ලොවක අතරමංව සිටි ගුණතිලක ආදාහනාගාරය අසලින් නැඟිට කාර්යාලය දෙසට පියවර මැන්නේය. ගෝලයා ද ඔහු අනුගමනය කළේය.
‘ඇහුණ නේද රොනී මහත්තයා කියපු දේ. අද ? වෙනකම් කටපරිස්සම් කරගෙන හිටපං. එහෙම ඉන්න බෑ කියලා හිතෙනවා නම් ගෙදරින් දොට්ට බහින්නෙ නැතිව හිටපං. වචනයක් පිට වුණොත් අද ?ට අපි දෙන්නටත් මේ මෝල ඇතුළේ එකට පිච්චෙන්න වෙනවා. ඒ නිසා මම කියන දේ හොඳට තේරුම් ගනිං. දැන් ගෙදර පලයං. මමත් කාර්යාලය වහල දාලා ගෙදර යනවා…’ ඔවුන් වැටී සිටින අවදානම ගැන ගුණතිලක තම ගෝලයාට පැහැදිළි කර දුන්නේය.
බොරැල්ල කනත්තේ දොර අගුලූ ලෑ ගුණතිලක නැවත නිවසට පැමිණියේ අවුල් වූ මනසිනි. ඇඟ පත සෝදා තේ උගුරක් බී නැවත යහනට ගිය ගුණතිලකට නින්දක් නම් අහලකටවත් ආවේ නැත. මොහොතකට පෙර සිදු වූ සිදුවීම් පෙළ චිත‍්‍රපටයක් සේ ඔහුගේ මනසේ හොල්මන් කරන්නට විය. ආයාසයෙන් මෙන් දෑස් පියා ගත් ඔහු මනෝ රාජ්‍යයේ ඈතින්, ඈතට පාවී ගියේය. ගත වූයේ හෝරාවක් පමණ කාලයකි. පියවි සිහියට පැමිණි ඔහුට පෙනුණේ ජනෙල් කවුළු තුළින් හිරු එබිකම් කරන අයුරුය. නිදි ගැට කඩා අවදි වූ ඔහු ඇඟ පත සෝදාගෙන වෙනදාටත් වඩා වේලාසනින් කනත්තේ කාර්යාලයට ගියේය. ඒ අලූයම් කාලයේ ආදාහනාරයේ අළු බවට පත් වූයේ සැබැවින්ම රෝහණ විජේවීර ද කියා සැක හැර දැනගැනීමේ අටියෙනි.
මඟතොටේ කිසිදු වෙනස් කතා බහක් නැත. වෙනදා මෙන් දවස ගලා යයි. කනත්ත සේවකයෝ තුළ ද වෙනසක් නැත. තැන, තැන හිඳගෙන සිටි ඔවුන් තුළින් ප‍්‍රදර්ශනය වූයේ පුරුදු අලස බවම පමණි. හිමිදිරිය මෝරා යමින්, ඉර මුදුන් වෙමින් තිබිණි.
‘‘පෙළගැසුණු හමුදා වාහන විදිලි වගේ පාරේ එහේ මෙහේ අතට ගියා. ඒ හැරෙන්න රෝහණ විජේවීර අත්අඩංගුවට ගත්තා කියලා කිසිම ආරංචියක් නෑ. ඒත් කනත්ත ළඟම ගෙවල්වල මිනිස්සු කිහිප දෙනෙක් ඇවිත් මට කිව්වා ඊයේ ? පාර දිගටම පොලිසියෙන් හිටියා… රන්ජන් විජේරත්න මහත්තයත් පාරෙ ඉන්නවා දැක්කා කියලා කවුද කෙනෙක් කිව්වා. කනත්ත කිට්ටුව පදිංචි මිනිස්සු එක, එක කතා කියන්න පටන් ගත්තා. සමහර අය කිව්වා ගෝල්ෆ් ක‍්‍රීඩා පිටිය ළඟ රේල් පාර අයිනේ පාන්දර වෙඩි සද්ද ඇහුණා කියලා. ඒ මිනිස්සු කියනවට මමත් එතැනට ගිහිං බැලූවා. කතාව ඇත්ත. එතකොටත් එතැන ලේ පැල්ලම් තිබුණා. එතැන හිටිය මනුෂ්‍යයෙක් මට කිව්වා පාන්දර දෙකට විතර වෙඩි සද්දයට ඇහැරිලා බලනකොට එක දිගටම කන ළඟින් වගේ වෙඩි වරුසාවක් ඇහුණා… කිහිප දෙනෙක් කතා කරන හඬත් ඇහුණා කියලා. එතකොට ඒ මනුෂ්‍යයාගෙන් මම ඇහුවා ජනෙල් කවුළුවකින්වත් බැලූවේ නැද්ද කියලා…
‘මහත්තය කියන්නෙ මට වෙඩි කන්න කියලද… කවුළුවලින් බලන්න තියා ගෙයි ඉන්නත් බය හිතුණා. ඒ සිද්ධිය මතක් වෙනකොට ඇෙඟ් මයිල් කෙළින් වෙනවා…’
ඒ මනුෂ්‍යයාගේ කතාව අහලා මම පුදුම වුණේ නෑ. පාන්දර සිද්ධියයි, මේ කියන කතාවයි අතර මොකක් හෝ සම්බන්ධයක් තියෙන බව මට තේරුණා. හවස් වෙනකොට විජේවීර මහත්තයා පොලිස් අත්අඩංගුවට පත් වෙලා කියලා කතාව පැතිරිලා ගියා. ඒත් අපි නෙමෙයි කට හෙල්ලූවේ…’’
‘ රෝහණ විජේවීරව පණපිටින් බොරැල්ල ආදාහනාගාරයට දාලා පුච්චයි…’ විවිධ කට කතා රට හැම තැන පැතිර යයි…