ඇසූ පමණින් කුතුහලය දනවන ලොව තැන තැන ඇති උල්කාෂ්ම | Colombocall ඇසූ පමණින් කුතුහලය දනවන ලොව තැන තැන ඇති උල්කාෂ්ම - Colombocall

Hot News

ඇසූ පමණින් කුතුහලය දනවන ලොව තැන තැන ඇති උල්කාෂ්ම





1. හෝබ උල්කාෂ්මය

දකුණු දිග අප්‍රිකාවේ නැමීබියාවේ එය කඩාවැටුණු ස්ථානයේම පිහිටා තිබේ. එය 1955 දී ජාතික ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

මෙතෙක් සොයාගෙන ඇති විශාලතම තනි උල්කාෂ්මය වන අතර පෘථිවි පෘෂ්ඨය මත මෙතෙක් සොයාගෙන ඇති ස්වාභාවිකව නිර්මාණයවූ විශාලතම යකඩ කුට්ටිය වෙයි. හෝබ උල්කාෂ්මය ටොන් 60 ක් බරින් යුත් අතර ආසන්න වශයෙන් අඩි 9 ක් උසින්ද, අඩි 9 ක් පළලින්ද, ඝනකම අඩි 3ක් පමණද වෙයි.

වසර 80,000 කට පෙර පෘථිවියේ වායුගෝලය හරහා ගමන්කර පෘථිවියට කඩාවැටුන නමුදු, 1920 දී ගොවියෙකු විසින් ප්‍රථම වරට දකින ලදී. බරින් වැඩිම උල්කාෂ්මය වුවද, පෘථිවිය සමග ඝට්ටනය වීමෙන් ආවාටයක් නිර්මාණය වී නැත. බොහෝ දෙනෙක්ගේ අදහස නම් එහි හැඩය සහ වායුගෝලයෙන් ඇති ප්‍රති තෙරපුම නිසා කඩාවැටීමේ වේගය අඩුවන්නට ඇති බවයි.

2. එල් චකෝ උල්කාෂ්මය

2012 දී මෙම උල්කාෂ්මය ජර්මනියට රැගෙන යාමට උත්සාහ කළ නමුත්, ආජන්ටිනාවේ පුරවැසියන් හා විද්‍යාඥයින් එය අවහිර කරන ලදුව, එල් චකෝ සහ එහි ඉතිරි කැබලි ඊසාන දිග ආර්ජන්ටිනාවේ එල් චකෝ පළාතේ ආරක්ෂිතව පවතී.

එල් චකෝ උල්කාෂ්මය, කැම්පෝ ඩෙල් සීලෝ ලෙස පොදුවේ හඳුන්වන යකඩ උල්කාෂ්ම සමූහයකින් එක කැබැල්ලකි. ටොන් 37 කට වඩා බරින් යුත් එල් චකෝ, එම සමූහයේ විශාලතම කොටස පමණක් නොව ලොව දෙවැනි විශාලතම තනි උල්කාෂ්මයද වේ. සියළුම කැබලිවල බරෙහි එකතුව ටොන් 60 ක් ඉක්මවා ඇති බව සොයාගෙන ඇත. එය කැබලි වලට කැඩී නොගියේ නම් ලොව විශාලතම උල්කාෂ්මය වීමට ඉඩ තිබුණි.

මීට වසර 4,000 ත් 5,000 ත් අතර කාලයකට පෙර උල්කාපාත වර්ෂාවක් ලෙස පෘථිවිය වෙත කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

3. විලේමට් උල්කාෂ්මය

ඇමරිකා එක්සත් ජනපදයේ, නිව් යෝර්ක්හි ඇමරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ තබා ඇත.

ටොන් 15.5 ක බරකින් යුත් යකඩින් සැදුන විලේමට් උල්කාෂ්මය, ඇමරිකා එක්සත් ජනපදය තුල දැකිය හැකි විශාලතම උල්කාෂ්මය වෙයි. එමෙන්ම එය ලෝකයේ හයවන විශාලතම එකයි.

1902 දී ඔරිගන් ප්‍රාන්තයේදී එලිස් හියුස් නමැති පතල්කරුවෙකු විසින් සොයා ගන්නා ලද, මතුපිට පෘෂ්ඨය වල ගොඩැලි සහිත විලේමට් උල්කාෂ්මය, අඩුම වශයෙන් මීට වර්ෂ මිලියන එකකට පමණ පෙර පෘථිවියට කඩාවැටී ඇතැයි විශ්වාස කෙරේ. යකඩ සහ නිකල් ලෝහයෙන් සැදුම්ලත් ග්‍රහවස්තුවක ඝට්ටනයක හෝ පිපිරීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවී තිබේ. යුරෝපීය ජනාවාස ඇතිවීමට පෙර, විලේමට් නිම්නයේ වාසය කළ ක්ලැකමස් චිනූක් නමැති ස්වදේශික ඉන්දියානුවන්ට මෙම උල්කාෂ්මය පූජනීය වස්තුවක් විය.

4. ඇනයිටෝ උල්කාෂ්මය (කුඩාරම ලෙසද හැඳින්වේ)

ඇමරිකා එක්සත් ජනපදයේ, නිව් යෝර්ක්හි ඇමරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ තබා ඇත.

ඇනයිටෝ හි බර ටොන් 31 ක් වන අතර මිනිසා විසින් වෙනස් ස්ථානයකට ගෙනයන ලද විශාලතම උල්කාෂ්මය වෙයි.

මීට වර්ෂ 10,000 කට පමණ පෙර, ග්‍රීන්ලන්තයේ වයඹදිග ප්‍රදේශයට කඩාවැටුන කේප් යෝර්ක් නමැති විශාල උල්කාෂ්මයේ කොටසක් වෙයි. කලක් යකඩ වලින් සැදුන මෙම උල්කාෂ්මය ස්වදේශික ඉනුයිට් ගෝත්‍රිකයින්ට අයත්වූ අතර බොහෝ විදේශිකයෝ එයට ගිජු වූහ. 1897 වසරේදී, රොබර්ට් පියරි නම් ගවේශකයෙකු එය ග්‍රීන්ලන්තයේ කේප් යෝර්ක්හි සිට ඇමරිකාවට රැගෙන එන ලදී.

5. බැකියුබිරිටෝ උල්කාෂ්මය

මෙක්සිකෝවේ වයඹදිග නගරයක් වන කුලියකන් හි ඇති විද්‍යා මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ දැනට ප්‍රදර්ශනය වෙමින් පවතී.

බැකියුබිරිටෝ උල්කාෂ්මය බරින් ටොන් 24 ක් වෙයි. ඉහත සඳහන් සියළුම උල්කාෂ්ම වලට වඩා කුඩා නමුදු, දිගින් අඩි 14 ක් වන එය ලොව මෙතෙක් සොයාගෙන ඇති දිගම උල්කාෂ්මය වෙයි.

භූ විද්‍යාඥයෙකු වූ ගිල්බට් එලිස් බේලී විසින් 1863 දී මෙම උල්කාෂ්මය සොයා ගන්නා ලදී. මෙක්සිකෝවේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් ලෙස මෙය සැලකේ.