ලංකා ස.තො.ස රුපියල් කෝටි 600 ක් ජනතාවට අහිමි කරයි ! විස්තරය මෙන්න | Colombocall ලංකා ස.තො.ස රුපියල් කෝටි 600 ක් ජනතාවට අහිමි කරයි ! විස්තරය මෙන්න - Colombocall

Hot News

ලංකා ස.තො.ස රුපියල් කෝටි 600 ක් ජනතාවට අහිමි කරයි ! විස්තරය මෙන්න








පසුගිය ආණ්ඩුව විසින් අත්හිටුවන ලද බැංකු ණයවර ලිපියක් යළි ක්‍රියාත්මක කර මිනිස් ආහාරයට නුසුදුසු සහල් තොගයක් ශ්‍රී ලංකාවට ආනයනය කොට හොර රහසේම විනාශ කර දැමීම මඟින් ලංකා සතොස රටට රුපියල් කෝටි 600ක අලාභයක් සිදුකර තිබේ.
 ලංකා සතොසේ පසුගිය ආණ්ඩුව කාලයේ හිටපු සභාපතිවරයා මෙම ණයවර ලිපිය අත්හිටුවා තිබියදී යළි එය ක්‍රියාවට නංවා මිනිස් ආහාරයට නුසුදුසු සහල් තොගය මෙරටට ගෙන්වා විනාශ කර තිබෙන්නේ 2015 වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු සතොසට පත් කළ සභාපතිවරයාගේ පාලන කාලයේදීය.

මේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වසර තුනක් තිස්සේ මේ පිළිබඳව විමර්ශනයක්ද කරමින් සිටී.

රටට කළ මේ මහා පාඩුව ගැන තොරතුරු අනාවරණය වූයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග වන ලංකා සතොස නඩු විභාගයේදී ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට ලංකා සතොස හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය මෙන්ම වත්මන් සභාපතිවරයාගේ රහස්‍ය ලේකම්වරියද වන සදානා නිමාලි විජේවික්‍රම මහත්මිය කළ ප්‍රකාශයකිනි.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවේ මේ නඩුව විභාග වෙයි. ඉන්දික ගිරාගම හා නිරෝෂන් සිරිවර්ධන යන නීතිඥ මහත්වරුන්ගේ සහාය ලබමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැමිණිල්ලේ සාක්ෂිකාරියක් වන විජේවික්‍රම මහත්මියගෙන් හරස් ප්‍රශ්න ඇසීම කළේය.

එම සහල් තොගය ගෙන්වීම සඳහා විවෘත කර තිබූ මහජන බැංකුවේ 'ණයවර ලිපිය' මෙම නඩුවෙන් අද 3 වැනි විත්තිකරු කොට සිටින හිටපු සභාපතිවරයා විසින් අත්හිටුවන ලද බවත් එහෙත් 2015දී පත්වූ සභාපතිවරයා එය යළි විවෘත කරගෙන එම සහල් තොගය ගෙන්වූ බවත් ඔබ දන්නවා නොවේදැයි ජනාධිපති නීතිඥවරයා නැඟූ හරස් ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ 'ඒ ගැන පැහැදිලි අවබෝධයක් නෑ' එක නතර කරන්න කටයුතු කළ බව නම් දන්නවා යනුවෙනි.

ප්‍ර: 2015 පත් වූ සභාපති එය යළි විවෘත කළා?
පි: ඔව්.

ප්‍ර: ඒ නිසා එම සහල් තොගය ආනයනය කළා?
පි: ඔව්.

ප්‍ර: ඒ පාඩුව ගැන තමයි අල්ලස් හෝ දූෂණ කොමිසම විමර්ශන කරන්නේ?
පි: ඔව්.

යන්තම්පලාව ලංකා සතොස ශාඛාවේ වයඹ පළාත් මැතිවරණ කොට්ඨාස ගිණුම නමින් පවත්වාගෙන යන ණයකරු 2013දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගංවතුරින් අනාථ වූවන්ට බෙදාදීම සඳහා රුපියල් ලක්‍ෂ 38ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඉල්ලුම් කොට ලබාගෙන ඇති බවත් 2013 ජූලි හා සැප්තැම්බර් අතර කාලය තුළ ගෙවා නිම වීමට එකඟව එම භාණ්ඩ ලබාගෙන ඇති බවත් එහෙත් 2014 අගෝස්තු මස එම මුදලින් රුපියල් ලක්‍ෂ 13ක් පමණක් ගෙවා ඇති බවත් ඇය ප්‍රකාශ කර සිටියාය.

එහෙත් එලෙස ගෙවා ඇති මුදල ගිණුම් වාර්තාවල සඳහන් නොමැති බවද ඇය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පිළිගත් අතර ඇමැතිවරයා හෝ ණයකරුගෙන් ඉල්ලීමක් කිරීමකින් තොරව ඉතිරි හිඟමුදල කපා හැරීමට සැප්තැම්බර් මාසයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කොට ඇති බවද ඒ අනුව 2015 වන විට කිසිදු හිඟ මුදලක් අය වීමට නොතිබූ බවද ඇය පිළිගත්තාය.

 කපා හැර ඇති මුදල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවී ඇති බව දැන ගැනීම නිසා 2015 අප්‍රේල් 08 වැනි දින වයඹ මැතිවරණ කොට්ඨාස ගිණුම මඟින් තවත් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ගෙවීමට ක්‍රියා කොට ඇති බවත් ඇය වැඩිදුරටත් පිළිගත්තාය. ණය ගනුදෙනුවලදී 'මැමෝ' පත් නිකුත් කරන බවද එලෙස නිකුත් කිරීමේදී මුල් පිටපතට අමතරව තවත් පිටපත් දෙකක් සහිතව ඒවා නිකුත් කරන බවද ප්‍රකාශ කළ සාක්‍ෂිකාරිය ඒ සෑම පිටපතක්ම සමාන වෙනවා මිස කිසිදු ආකාරයකින් වෙනසක් වීමට හේතුවක් නොමැති බවද අධිකරණය හමුවේ ඉදිරිපත් කොට ඇති එකී පිටපත්වල විවිධ වෙනස්කම් ඇති බව තමා පිළිගන්නා බවද කියා සිටියාය.

ඇතැම් 'මැමෝ' පත්වල පිටපත්වල කාබන් පෑනකින් වෙනස් කිරීම් කර ඇති බවද සමහර මුල් පිටපත ටිපෙක්ස් කර ඇති බවද මුල් පිටපතෙහි 'රත්ති' කිරිපිටි වශයෙන්ද තවත් පිටපතක 'නෙස්ප්‍රේ' වශයෙන්ද සඳහන්ව ඇති බවද තවත් මැමෝ පතක මුල්පිටපතේ 'අල' වශයෙන් හා අනෙක් පිටපතක 'අර්තාපල්' වශයෙන්ද ඇති බවත් ඇය පිළිගත්තාය.

'ලංකා සතොස' නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්, මුදල් හා මිලදී ගැනීම්) අංජන ප්‍රභාත් නිශ්ශංක මහතා හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් 'මැමෝ' පිටපත්වල ඇති ඒකී වෙනස්කම් පිළිගත් අතර එය ප්‍රශ්නකාරී බවද ඔහු පිළිගත්තේය.