දේශපාලඥයෝ හොර රහසේ යන තැන මෙන්න ! - මං ළඟට ආව කිසිම ලෙඩෙක් මැරිලා නෑ- | Colombocall දේශපාලඥයෝ හොර රහසේ යන තැන මෙන්න ! - මං ළඟට ආව කිසිම ලෙඩෙක් මැරිලා නෑ- - Colombocall

Hot News

දේශපාලඥයෝ හොර රහසේ යන තැන මෙන්න ! - මං ළඟට ආව කිසිම ලෙඩෙක් මැරිලා නෑ-






සිය මිත්තණියගේ ආයුර්වේද වෙදකම දෙස බලා සිටිමින් වයස අවුරුදු අටේ නවයේ සිටම ආයුර්වේදයට අත්‍පොත් තැබූ ඔහුට අවශ්‍ය වී ඇත්තේ දේශීය ආයුර්වේදය ලෝකයේ ඉහළ තැනකට ගෙන ඒමටය.

වසර හතළිහකට අධික කාලයක් තිස්සේ දෙස් විදෙස් පුද්ගලයන් ලක්ෂ ගණනක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා සුවය ලබා ඇත්තේ බෞද්ධ දර්ශනය හා බැදුණු ඔහුගේ දේශීය වෙදකම නිසාවෙනි. ඔහු වෙන කිසිවකු නොව ආයුර්වේද විශේෂඥ වෛද්‍ය එස්.එස්. ගුණවර්ධන මහතාය.

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය එස්.එස්. ගුණවර්ධන මහතා ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයෙකි. එමෙන්ම සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශන සභාවේ සාමාජිකයෙකි.

ගුණවර්ධන මහතා මුලින්ම ආයුර්වේදයට සම්බන්ධ වන්නේ සිය මිත්තණිය හරහාය. ඇය පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක් වූවාය. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගුණවර්ධන මහතා බොරැල්ල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පත්වීම ලබා ගන්නේය. 

ඔහු අනුරාධපුරයට පැමිණෙන්නේ 1972 වසරේදීය. එදා සිට අනුරාධපුර ජනතාවට පමණක් නොව දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් දේශීය ආයුර්වේද කටයුතු අඛණ්ඩව ඔහු සිදුකරගෙන යන්නේය.

එස්.එස්. ගුණවර්ධන මහතා දේශීය ආයුර්වේදයෙන් සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර කරන්නේය. ඔහු සුවපත් කරනු ලැබූ හදවත් රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් රැසකි.

මගේ ගෙදර කරන්නේ දේශීය වෙදකමයි. එය ඉදිරියට පවත්වාගෙන යාමයි මම සිදුකරන්නේ. දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ අපිට ආවේණික වෛද්‍ය විද්‍යාවක්. එය අප ලෝකයට දිය යුතුයි. දේශීය වෙදකම තුළයි පිළිකා රෝග, හදවත් රෝග සුව කරන ඖෂධ තිබෙන්නේ. රෝග හඳුනා ගැනීමේ ක්‍රමවේදය තියෙන්නේ නාඩි විඥානය තුළයි. අපේ ආයුර්වේදය පර්යේෂණාත්මක වුණා නම් ඉතා වටිනවා. ඈත කාලයේදී පර්යේෂණ තිබුණා. නමුත්, මෑත කාලයේදී පර්යේෂණාත්මක දේ සිදුවුණේ නැහැ. දේශීය ආයුර්වේදය ලෝකයට යා යුත්තේ පර්යේෂණාත්මකවයි. ඉන් ලෝකයට අලුත් පණිවුඩයක් ලබාදෙන්න පුළුවන්. ආයුර්වේද පර්යේෂණාත්මක රෝහලක් තමයි මම අනුරාධපුර ඉදිකරගෙන යන්නේ යැයි ගුණවර්ධන මහතා පවසන්නේය.

දේශීය ආයුර්වේද ක්ෂේත්‍රයේ නව මගකට රැගෙන යාම සඳහා ඉදිකරනු ලබන මෙම රෝහ‍ලේ රෝගීන් 85 කට නේවාසික ප්‍රතිකාර ගැනීමට හැකි පරිදි සැලසුම් කර ඇත. නමුත්, රජයෙන් ඒ සඳහා මතෛක් දායකත්වයක් ලැබි නැත.

දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉතා ගැඹුරු විද්‍යාවක්. අපි පර්යේෂණ මට්ටමින් එය ලෝකයට පර්යේෂණ මට්ටමින් ඔප්පු කර පෙන්විය යුතුයි. දේශීය වෛද්‍ය විද්‍යාව ලෝකයට ලබාදීම මගේ හීනයක්. ඒ සඳහා තමයි රෝහලක් ඉදි කරගෙන යන්නේ. මෙය රාජ්‍ය අනුග්‍රහය නැතිව කරගෙන යන්න අමාරුයි. ඒ සඳහා මම රාජ්‍ය අනුග්‍රහය බලා‍පොරොත්තු වෙනවා. 

අපිට ඉදිරියට යන්න බැරිවෙලා තියෙන්නේ මෙයාකාරයෙන් පර්යේෂණ නොකිරීම නිසයි. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ගොඩක් ඕනේ.
ආයුර්වේද සිලබස් එක වෙනස්විය යුතුයි. අපි අරිෂ්ඨ, ආසවක, මෝදක රෝගීන්ට දෙනවා. ඒකෙ විද්‍යාත්මක පැත්ත පෙන්වා දිය යුතුයි. අරිෂ්ඨ බෝතලයේ ගුණාත්මක භාවය ටැබ්ලට් එකකට, පවුඩර් එකකට ගියා නම් රෝගීන්ට පහසුවක්. අරිෂ්ඨ බෝතලයක් පානය කළාම තවත් රෝග හැදෙන්න ඉඩ තියෙනවා. අරිෂ්ඨයක් කියන්නේ හර්බල් වයින් එකක්. එහි ගුණාත්මක භාවයට මද්‍යසාර යම් ප්‍රතිශතයක් අන්තර්ගත වෙනවා. 

නිසියාකාරව මෙය භාවිත නොකළොත් නිරෝගී පුද්ගලයා රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. දියවැඩියාව, සිරෝසීස් ආදී රෝග තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් දේශීය වෛද්‍ය විද්‍යාවට පහර එල්ල කරන්න මාර්ග විවෘත වෙලා තිබෙනවා. අරිෂ්ඨවල මාත්‍රාවක් තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණය පමණයි රෝගීන්ට ලබාදිය යුත්තේ. නමුත්, රෝගීන් අනවශ්‍ය පරිදි අරිෂ්ඨ භාවිත කරනවා. එය වැරදියි. මේ කරුණු නිසයි අපේ ආයුර්වේදයට හානියක් වුණේ. ගුණාත්මක තෙල් වර්ග රැසක් අපේ ආයුර්වේදයේ තිබෙනවා. නමුත්, හරියාකාරව පර්යේෂණ සිදුවන්නේ නෑ යැයි ගුණවර්ධන මහතා කියන්නේය.

ගුණවර්ධන මහතා සිය දේශීය වෙදකම ඔස්සේ රෝගීන් ලක්ෂ 35 කට වැඩි ප්‍රමාණයක් සුවපත් කර ඇත. ආයුර්වේදය සම්බන්ධ පුස්කොල ‍පොත් දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරමින් ගුණවර්ධන මහතා ප්‍රතිකාර කටයුතු සිදු කරන්නේය.

හදවත් රෝග සුව කිරීමට බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ බයිපාස් කිරීම, ස්ටෙන්ට් කිරීම, හදවතේ ගැස්ම අඩු කිරීම සඳහා පේජ් මේකර් එක දැමීමයි. මම මේ ක්‍රම පිළිගන්නේ නෑ. පේජ් මේකර් දැම්මා කියලා රෝගියා නිට්ටාවට සුව වෙන්නේ නෑ. බයිපාස් කළත් ජීවිත අසරණ වෙනවා. ස්ටෙන්ට් කළත් ජීවිත අසරණ වෙනවා. නමුත් දේශීය ආයුර්වේදයේ හදවත් රෝග සුවපත් කිරීමට ගොඩාක් බෙහෙත් තිබෙනවා. හදවතේ චූර්ණක පදාර්ථ හෝ මේද තැන්පත් වුණොත් ඒවා දිය කරන ක්‍රමවේද දේශීය වෛද්‍ය විද්‍යාවේ තිබෙනවා. මේ බෙහෙත්වලින්ම සුව වූ රෝගීන් ලක්ෂ ගණනක් ඉන්නවා. 

බරපතළ තත්ත්වයේ හෘද රෝගියෙක් වුණත් මම අතහරින්නේ නෑ. පුළුවන් උපරිමයෙන් සුවපත් කරනවා.පත්තු ක්‍රම තිබෙනවා. බාහිර ආ‍ලේපන තිබෙනවා. අභ්‍යන්තර බෙහෙත් තිබෙනවා යැයි ගුණවර්ධන මහතා පවසන්නේය.

ඔහු පවසන පරිදි ඔහුගේ ප්‍රතිකාර ක්‍රම ඔහුට සියයට සියයක්ම විශ්වාසය. මගේ ළඟට ඇවිත් මියගිය ලෙඩ්ඩු නෑ ඔහු කියන්නේ දේශීය ආයුර්වේදයේ පවතින විශ්මයජනක හැකියාවය.

නිල ඇල්ලීම, නක්ශාස්ත්‍රය එකිනෙකට සම්බන්ධ වී තිබෙනවා. නමුත් දේශීය ආයුර්වේදයට මුල්තැන දී මම රෝගීන් සුවපත් කරනවා. පැයක් ඇතුළත බයිපාස් කරන්න ඕන කියපු රෝගීන් මගෙන් ප්‍රතිකාර ලබාගෙන සුවපත් වී සිටිනවා. මේ අතර ප්‍රසිද්ධ දේශපාලනඥයන් රැසක්ද ඉන්නවා යැයි ගුණවර්ධන මහතා කියන්නේය.

ගුණවර්ධන මහතා පවසන පරිදි 1975 වසරේදී පමණ ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇත්තේ හදවත් රෝගීන් දෙතුන් දෙනෙකි. නමුත්, අද වන විට සියයට අනූනවයක්ම ඉන්නේ හදවත් රෝගීන් බව ඔහු පවසන්නේය.

හදවත් රෝග මුල් අවස්ථාවේම හඳුනාගත්තොත්, මාසයක් හරියට බෙහෙත් කරද්දී, පත්තු බඳිනවා නම් හදවත් රෝග සුවවෙනවා. අවුරුදු 35 සිට 50 දක්වා වූ වයස් කාණ්ඩවල හදවත් රෝගීන් බහුලයි. ගොඩක් මැරෙනවා යැයි ඔහු කියන්නේය.

වකුගඩු රෝගීන් බහුලව සිටින ප්‍රදේශයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැකිය. දිනෙන් දින ඉහළ යන වකුගඩු රෝගීන් වෙනුවෙන් ගුණවර්ධන මහතා විශාල කාර්යභාරයක් සිදු කරන්නේය.
වකුගඩු රෝගයටත් ප්‍රතිකාර තිබෙන්නේ දේශීය වෛද්‍ය විද්‍යාවේ පමණයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ තිබෙන්නේ රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධ කිරීමයි. අවසානයේ සිදුවන්නේ රෝගියා මියයාමයි. වකුගඩු රෝගය මුල් අවස්ථාවේම දැන ගත්තොත් අපට සුවකළ හැකියි. වස විසෙන් තොරව ආහාර සකස් කරන රටාව කියලා දීලා, මූත්‍රා පෙරණ ආහාර වර්ග දීලා ලෙඩේ අඩු කරන්න පුළුවන්.

වකුගඩු රෝග අවම කිරීමට නම් ක්‍රමවත් ආහාර රටාවක් සැකසිය යුතුයි. අතීතයේ වකුගඩු රෝග තිබුණේ නෑ. මාස තුනකට වරක් විරේක කර්මය ක්‍රියාත්මක වුණා. ඉන් ආහාර මාර්ගය නිතරම ශෝධනය වුණා. ජලය පානය වැඩියි. සියඹලා, ගොරකා භාවිතය වැඩියි ගුණවර්ධන මහතා කියන්නේය.

වස විසවලින් පිරි ආහාර රටාවකටයි අද ජනතාව හුරුවෙලා ඉන්නේ. කෘමිනාශක, වල්නාශක භාවිතය ඉහළ ගිහින් තිබෙනවා. ආහාර භෝග වගාවේදී වස විස වැඩිවීම වකුගඩු රෝගය වැඩිවීමට හේතුවක්. වකුගඩුවලින් විෂ පිටවෙලා යද්දී වකුගඩු අක්‍රිය වීමට බලපා තිබෙනවා. මුඛයට ගන්නා සියලුම ආහාර වර්ග සහ සියලුම දේවල්වල විෂ කොටස් සියල්ලම පෙරිලා යන්නේ වකුගඩු හරහාමයි. වස විස පෙරිලා යන්නේ එතැනින්. මේ වස විසවල බලපෑමෙන් ෙසෙල අක්‍රියවෙලා වකුගඩු අක්‍රිය වෙනවා. වස විසෙන් තොර ආහාර රටාවකට අප පුරුදු විය යුතුයි. මිනිස්සු ඉස්සර හොඳින් ජලය පානය කළ නිසයි නිරෝගීව හිටියේ.

වතුරවලින්ම මේ රෝගය හැදුණා යැයි අපි නිර්දේශ කරනවා නම් අද එක ගවයෙක්වත් මේ රටේ ඉතුරු වෙන්න බෑ. මොකද ගවයින් වතුර බොන්නේ වැවෙන්. එක සුනඛයෙක්වත් ඉතිරි වෙන්න බෑ. සුනඛයාට පිරිසිදු වතුර ලැබෙන්නේ නෑ. මිනිසාට මේක වැඩි වශයෙන් බලපා තිබෙන්නේ වස විෂ ආහාරයට ගන්නා නිසා යැයි ගුණවර්ධන මහතා පවසන්නේය.

ගුණවර්ධන මහතා දේශීය වෙදකමට අවශ්‍ය ඖෂධ වර්ග වෙනම වගා කරන්නේය. අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 20ක ප්‍රදේශයක මෙම ඖෂධ වගාව ඔහු පවත්වාගෙන යන්නේය. රසායනික ‍පොහොර භාවිතයෙන් තොරව කාබනික ‍පොහොර පමණක් යොදාගෙන ඖෂධ උයන පවත්වාගෙන යන්නේය. එමෙන්ම අනුරාධපුර නගරයේ පිහිටි ඔහුගේ නිවසේදී ඖෂධ නිෂ්පාදනය සිදු කෙරෙන්නේ නිසි ප්‍රමිතියකටය.

ඖෂධ සොයා ගන්න ඉතා අපහසුයි. දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව කංසා ඉතා වැදගත් බෙහෙතක්. ස්නායු පද්ධතියේ රෝගවලට කංසා ඉතා වැදගත් බෙහෙතක්. සුද්දෝ ලංකාවට ඇවිත් මේ ඖෂධය නතර කළා. මිනිස්සුන්ගේ ශක්තිය දැකලා කංසාවලට තහංචි දැම්මා. මිනිස්සු මේක මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පටන් ගත්තා. එතැනයි වැරදුණු තැන යැයි ගුණවර්ධන මහතා කියන්නේය.

රාවණාගෙන් සහ පුලස්ථි ඝෘෂිවරයාගෙන් පැවත එන වෙදකමයි මේ රට තුළ කරගෙන යන්නේ. ඒක එක එක්කෙනාට ඕන විදිහට අද විවිධ අර්ථ ගැන්වීම් කරලා තියෙනවා. ප්‍රමිතියට ඖෂධ නිෂ්පාදනය විය යුතුයි. දේශීය වෙදකමට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. රාජ්‍ය අනුග්‍රහය තුළ දේශීය වෙදකම ඉදිරියට ගෙනිච්චොත් විදේශීය ජනතාව ලංකාවට ගෙන්වාගත හැකියි. අපිට තියෙන එකම ආර්ථිකමය මාර්ගය මෙයයි.

 ලෝකයේ ජනතාවට අපිට දෙන්න තියෙන දේ තමයි දේශීය වෛද්‍ය විද්‍යාව. ඊළඟ එක තමයි බෞද්ධ දර්ශනය. ඔය දෙක අපි හරියට දුන්නොත් අපි ජයග්‍රහණය ලැබුවා වෙනවා ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේය.
වෛද්‍ය චක්‍රවර්ති, වෛද්‍ය භූෂණ, විද්‍යා නිධි ජාතික සම්මානය ඇතුළු සම්මාන රැසක් ඔහුට හිමි වී ඇත.

ගුණවර්ධන මහතාගේ පුතා වන කසුන් ප්‍රභාත් ශ්‍රී ගුණවර්ධන ගුජරාට් ආයුර්වේද විශ්වවිද්‍යාලයයේ උපාධිය ලබා දේශීය වෙදකම හොඳින් කරගෙන යන්නේය. පිය පුතු දෙදෙනාම පර්යේෂණාත්මකව ආයුර්වේද ප්‍රතිකාර කටයුතු කරගෙන යති.

උපුටාගැනීම :-    - සාලිය කුමාර ගුණසේකර -  (රිවිර)