ඇපල් පරිගණක ජාලයට 'රහසින් ඇතුළු වූ' දහසය වියැති ඔස්ට්‍රේලියානු තරුණයා | Colombocall ඇපල් පරිගණක ජාලයට 'රහසින් ඇතුළු වූ' දහසය වියැති ඔස්ට්‍රේලියානු තරුණයා - Colombocall

Hot News

ඇපල් පරිගණක ජාලයට 'රහසින් ඇතුළු වූ' දහසය වියැති ඔස්ට්‍රේලියානු තරුණයා


ඇපල් ජාලයට රහසින් ඇතුළු වී අභ්‍යන්තර ගොනු (Files) බාගත කර ගැනීම සම්බන්ධයෙන් තමන් වරදකරු බව ඔස්ට්‍රේලියානු තරුණයෙකු පිළිගෙන ඇති බව වාර්තාවල දැක්වේ.
Image result for apple hacker

දහසය වියැති තරුණයා මෙල්බන් නගරාසන්නයේ පිහිටි සිය නිවසේ සිට වසරක පමණ කාලයක් වරින්වර පද්ධතියට පිවිස ගිගාබයිට් 90 ක ගොනුවලට ඇතුළු වී ඇතැයි 'ද ඒජ්' පුවත්පත වාර්තා කරයි.

සිය පරිගණකයේ 'හැකී හැක් හැක් (hacky hack hack)' යනුවෙන් නම් කරන ලද ගොනුවක් තුළ ඔහු රහසේ බාගත කළ ලේඛන ගබඩා කර තිබුණි.

කෙසේවෙතත්, පාරිභෝගිකයින්ගේ දත්ත පිටවී නොමැති බව ඇපල් සමාගම තහවුරු කර තිබේ.

නමුත් අදාළ තරුණයා පාරිභෝගික ගිණුම්වලට ප්‍රවේශ වී ඇති බව 'ද ඒජ්' පුවත්පත වාර්තා කර ඇත.

"මෙම ජාල අපි දැඩි ලෙස ආරක්ෂා කරනවා වගේම, තර්ජන හඳුනාගැනීමට සහ ප්‍රතිචාර දැක්වීමට, ඒ වෙනුවෙන් කටයුතු කරන තොරතුරු ආරක්ෂණ වෘත්තිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් කැපවීමෙන් කටයුතු කරනවා" යැයි  ප්‍රකාශයක් කරමින් ඇපල් සමාගම පැවසීය.

"මේ සිද්ධියේදීත් අපේ කණ්ඩායමේ අනවසර ප්‍රවේශය සොයාගෙන ඒ ගැන නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම් දුන්නා"

"පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂාව අපගේ ප්‍රධාන වගකීම්වලින් එකක් ලෙස සලකනවා. ඒ වගේම මේ සිද්ධියේ කිසිම අවස්ථාවක ඔවුන්ගේ පෞද්ගලික දත්ත පිට වී නැති බව පාරිභෝගිකයන්ට සහතික කර සිටිනවා" යැයි ඇපල් සමාගම තවදුරටත් පැවසීය.

තොරතුරු අනාවරණය වීමත් සමඟ ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළේ දැවැන්තයා මෙම සිද්ධිය පිළිබඳ ඇමරිකානු රහස් පොලිසියට (FBI) දන්වන ලද අතර, ඔවුන් එය ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) වෙත යොමු කර ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රකාශයක සඳහන් වී තිබේ.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය තරුණයා ජීවත් වූ නිවස වැටලූ අතර, ලැප්ටොප් පරිගණක දෙකක්, ජංගම දුරකථනයක් සහ පරිගණක දෘඪ තැටියක් එහි තිබී සොයා ගන්නා ලදී. ඇපල් පද්ධතියට පිවිසි උපකරණවල අනුක්‍රමික අංක මෙම පරිගණකවල අංකවලට සමාන විය.

සිය ක්‍රියාකාරකම් පිළිබඳ වර්ණනා කරමින් 'වට්ස් ඇප්' පණිවුඩ යැවීමට මෙම තරුණයා කටයුතු කර ඇතැයි 'ද ඒජ්' පුවත්පත වාර්තා කර තිබිණි.

ඔහු ඇපල් සමාගමට දැඩි ලෙස ප්‍රිය කරන නිසා ඔවුන්ගේ පද්ධතිවලට ඇතුළු වී ඇති අතර, කිසියම් දිනක එහි සේවය කිරීමට සිහින මවා ඇතැයි පුවත්පත් ලිපියේ වැඩි දුරටත් සඳහන් විය.

ඔහුගේ නීතිඥවරයා පැවසූවේ අනවසරයෙන් පරිගණක පද්ධති තුළට පිවිසෙන්නන් අතර (හැකරුන්) මෙම තරුණයා ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇති බවය.

නීතිමය හේතු නිසා තරුණයාගේ නම ප්‍රසිද්ධියට පත් කර නැත. සැප්තැම්බර් 20 වෙනි දින ඔහුට අදාළ දඬුවම අධිකරණයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.