1983 අද වැනි දිනක සවස්‌ වන විට මහා භීෂණයක හෝරාව පසුවෙමින් තිබුණා | Colombocall 1983 අද වැනි දිනක සවස්‌ වන විට මහා භීෂණයක හෝරාව පසුවෙමින් තිබුණා - Colombocall

Hot News

1983 අද වැනි දිනක සවස්‌ වන විට මහා භීෂණයක හෝරාව පසුවෙමින් තිබුණා




    ජූලි 25 දා සවස්‌ වන විට මියගිය හමුදා සාමාජිකයන්ගේ නෑ හිතවතුන් සහ මහජනතාව බොරැල්ල කනත්තට රොක්‌ වූයේ අවමඟුල් උළෙලට සහභාගි වීමට යි. එහෙත් රාත්‍රී 7 පමණ වන තුරුත් මළසිරුරු කනත්තට ගෙනැවිත් තිබුණේ නැත. එහෙත් කනත්තේ මිනී වළවල් 13 ක්‌ද සූදානම් කොට තිබුණි. රැස්‌ව සිටි පිරිස අතර ක්‍රම ක්‍රමයෙන් නොසන්සුන්තාවක්‌ පැතිර ගියේය. ඒ අතර මියගිය සෙබළුන්ගේ මළසිරුරු සහිත මිනී පෙට්‌ටි අවමංගල ශාලාවේ සිට හමුදා මූලස්‌ථානය වෙත ගෙන යන ලදැයි දැනගන්නට ලැබීමත් සමග ජනයා කෝපයට පත්ව කලබල කරන්නට  විය....



මේ මාසය අපිට ඇසූ සැනින්ම මතකයට එන්නෙ, එහෙමත් නැතිනම් යුගල පදයක් ලෙස කියවෙන්නේ ජූලී කලබලය ගැනයි.  මුළු ලංකා ඉතිහාසයෙන්ම නොමැකෙන අන්ධකාරයක් එක් කරමින් 1983 වසරේ ඒ ඇති වූ අවාසනාවන්ත මානව සංහාරයට අද වන විටත් වගකිව යුත්තේ කවුරන්ද?


මේ ඒ අමිහිරි සිදුවීමේ මුල මැද අග...

ලූකස්‌ චාල්ස්‌ ඇන්තනි හෙවත් සීලන් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතම මිතුරෙකු හා කොටි සංවිධානයේ ප්‍රබල නායකයකුද විය. ඔහු සහ රාමනාදන් අරුල්නාදන් යන කොටි සාමාජිකයාද 1983 ජූලි මස 15 වැනි දින යුද හමුදාව විසින් චාවකච්ෙච්රි මීසාලේ ප්‍රදේශයේ දී එල්ල කළ ප්‍රහාරයකින් මරුමුවට පත්වූහ. මෙය ප්‍රභාකරන්ට දරාගත නොහැකි වූ අතර එයට පළිගැනීමක්‌ වශයෙන් යුද හමුදා භට කණ්‌ඩායමකට ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ප්‍රභාකරන් සූදානම් විය.

දිනය 1983 ජූලි 23 දාය. එදින රාත්‍රී 9.45 ට පමණ ගුරුනගර් යුද හමුදා කඳවුරේ සිට හමුදා ජීප් රියක්‌ හා ට්‍රක්‌රථයක්‌ ගමන් ආරම්භ කළේ මාර්ග පරීක්‍ෂාවක යෙදීම සඳහා ය. දෙවැනි ලුතිනන් වාස්‌ ගුණවර්ධන ඇතුළු හමුදා සෙබළුන් 13 දෙනකු මෙම වාහන දෙකේ ගමන් ගත්හ. ගුරුනගර්, යාපනය, නාග විහාරය, නල්ලූර්, කෝපායි, උරුම්පිරායි, කොණ්‌ඩාවිල්, කලියන්කාඩු හා මාදගල් යන ප්‍රදේශවල මාර්ග පරීක්‍ෂා කිරීම ඔවුන්ට පැවරී තිබූ රාජකාරිය විය.

හමුදා වාහන දෙක උරුම්පිරායි හන්දියෙන් හැරී පලාලි මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් තිබූ අතර තිරුනෙල්වේලි ගොවිපළ පසුකර යන විට විශ්වවිද්‍යාලය ආසන්නයේ දී වාහනවල වේගය අඩු කිරීමට සිදු වූයේ පාර අබලන් වී තිබූ බැවිනි. ඒ සමගම විශාල පිපිරීම් හඬක්‌ ඇසුණ අතර ඉදිරියෙන් ගමන්ගත් ජීප් රිය උඩ විසිවී ගියේය. ඒ සමගම ජීප් රිය හා ට්‍රක්‌රථය දෙසට වෙඩි ප්‍රහාර හා පෙට්‌රල් බෝම්බ ප්‍රහාර එල්ල වන්නට විය.

වෙඩි ප්‍රහාර මැද්දේ වාහනවලින් එළියට පැනගත් සෙබළු කොටින් දෙසට බෝම්බ හා වෙඩි ප්‍රහාර එල්ල කරමින් සටන් කළ නමුත් දෙවැනි ලුතිනන් වාස්‌ ගුණවර්ධන ඇතුළු සෙබළුන් 11 දෙනකු එතැනම ජීවිතක්‌ෂයට පත්විය. ඉතිරි වූයේ කෝප්‍රල් උපාලි පෙරේරා සහ ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාල පමණි. කෝප්‍රල් උපාලි පෙරේරාගේ වම් පාදයට වෙඩි වැදී තිබූ අතර ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාලගේ පපුවට වෙඩි වැදී තිබුණි.

පැය භාගයක පමණ කාලයක්‌ සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු තවදුරටත් කොටි ප්‍රහාරවලට තනිවම මුහුණදිය නොහැකිවූ බැවින් කෝප්‍රල් උපාලි පෙරේරා තුවාල ලබා සිටි ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාල අසල තාප්පයකින් එහා පැත්තට ඔසවා තබා අසල නිවසක බිත්තියකට මුවාවී සැඟවුණේය.

වෙඩි හුවමාරුව නතර වීමත් සමග වාහන වෙත පැමිණි කොටි ත්‍රස්‌තයන් තුවාල ලබා සිටි හා මියගොස්‌ සිටි සෙබළුන්ට යළිත් වෙඩි ප්‍රහාර එල්ලකොට සෙබළුන් සතුව තිබූ අවි ආයුධ හා පණිවුඩ හුවමාරු යන්ත්‍රයද රැගෙන පලා ගියහ.

අනතුරුව සිය ගිනි අවියද රැගෙන සැතපුම් 2 ක්‌ පමණ ගමන් කරමින් කොණ්‌ඩාවිල් ලංගම බස්‌ ඩිපෝව වෙත මහත් අමාරුවෙන් පැමිණි කෝප්‍රල් උපාලි යාපනය පොලිසියට දුරකථන ඇමතුමක්‌ ගෙන සිද්ධිය දන්වා ගුරු නගර් කඳවුරට මේ බව දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පැමිණි හමුදා කණ්‌ඩායමක්‌ විසින් කෝප්‍රල් උපාලි පෙරේරා සහ ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාල හා තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සැරයන් වේලකරත්න වහාම යාපනයේ රෝහල වෙත ගෙන ගිය නමුත් සැරයන් වේලකරත්න රෝහලේ දී මිය ගියේය.

හමුදා භට කණ්‌ඩායමට එල්ල වූ ප්‍රහාරයත් සමග සිදු වූ වෙඩි හුවමාරුවේදී ප්‍රහාරයේ සැලසුම්කරු සහ ප්‍රභාකරන්ගේ සමීපතමයකු වූ සෙල්ලක්‌කිලි නමැති කොටි නායකයාද මරුමුවට පත් වී තිබුණි.

ජූලි 24 දා තුවාල ලබා සිටි සෙබළුන් දෙදෙනා සහ මියගිය සෙබළුන් 13 දෙනාගේ මළසිරුරු ගුවන් මගින් කොළඹට ගෙන එනු ලැබීය.

තම සහෝදර සෙබළුන් 13 දෙනකු කොටි ප්‍රහාරයකින් මරුමුවට පත්වීමෙන් කෝපයට පත් හමුදා සෙබළුන් ජූලි 24 දා උදෑසන පලාලි, ගුරුනගර් හා යාපනය කොටුව කඳවුරුවලින් එළියට පැමිණ දිගට හරහට වෙඩි තැබීම නිසා යාපනයේ සාමාන්‍ය වැසියන් සිය ගණනක්‌ ජීවිතක්‍ෂයට පත්විය.

මියගිය හමුදා සෙබළුන්ගේ මළසිරුරු ඔවුන්ගේ ඥතීන්ට භාර නොදී බොරැල්ල කනත්තේදී හමුදා ගෞරවාචාර පිරිනමා මිහිදන් කිරීමට රජය පියවර ගෙන තිබුණි. ඒ අනුව ජූලි 25 දා සවස්‌ වන විට මියගිය හමුදා සාමාජිකයන්ගේ නෑ හිතවතුන් සහ මහජනතාව බොරැල්ල කනත්තට රොක්‌ වූයේ අවමඟුල් උළෙලට සහභාගි වීමට ය. එහෙත් රාත්‍රී 7 පමණ වන තුරුත් මළසිරුරු කනත්තට ගෙනැවිත් තිබුණේ නැත. එහෙත් කනත්තේ මිනී වළවල් 13 ක්‌ද සූදානම් කොට තිබුණි. රැස්‌ව සිටි පිරිස අතර ක්‍රම ක්‍රමයෙන් නොසන්සුන්තාවක්‌ පැතිර ගියේය. ඒ අතර මියගිය සෙබළුන්ගේ මළසිරුරු සහිත මිනී පෙට්‌ටි අවමංගල ශාලාවේ සිට හමුදා මූලස්‌ථානය වෙත ගෙන යන ලදැයි දැනගන්නට ලැබීමත් සමග ජනයා කෝපයට පත්ව කලබල කරන්නට වූහ.

මේ අතර තවත් පිරිසක්‌ බොරැල්ලේ දෙමළ කඩසාප්පුවලට පහරදෙමින් ඒවා ගිනි තබන්නට වූහ. තවත් පිරිසක්‌ ඡන්ද නාමලේඛන රැගෙන ඒවායේ නම් සඳහන් දෙමළ ජාතිකයන්ගේ නිවෙස්‌ සොය සොයා ඒවාට පහර දෙන්නට හා ගිනි තබන්නට වූහ.

ඉන් ඇරැඹුණු ජාතිවාදී ගින්න කොළඹ දෙමළ ව්‍යාපාරිකයන් වැඩිපුර වාසය කළ පෙදෙස්‌වලට පැතිර ගියේය. මියගිය දෙමළ ජාතිකයන්ගේ සිරුරු පාරවල් අයිනේ දැවෙමින් තිබුණි. කොල්ලකන ලද කඩ සාප්පුවල තිබූ බඩු ගෙන යන ලද්දේ ලොරිවලිනි.

මේ අතරතුර සිදුවූ තවත් කනගාටුදායක සිද්ධියක්‌ නම් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ රැඳවියන් 51 දෙනකු එහි සිටි තවත් සිරකරුවන් පිරිසක්‌ විසින් කපා කොටා පොලුවලින් පහරදී ඝාතනය කිරීමයි. ජූලි 25 දා පස්‌වරුවේ දෙමළ රැඳවියන් සිටි ශාලාවට කඩාවැදුණු සිංහල සිරකරුවන් පිරිසක්‌ කොටි නායකයකු වූ සෙල්වරාජා සෝමචන්ද්‍රන් හෙවත් කුට්‌ටුමනී ඇතුළු 51 දෙනා ඝාතනය කළා පමණක්‌ නොව සමහරුන්ගේ ඇස්‌ උගුල්ලා තිබූ බවද මරණ පරීක්‍ෂණයේ දී හෙළිවිය.

1975 දී ශ්‍රී ලංකාවේ පොලිස්‌ නිලධාරියකු මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය විසින් කුට්‌ටුමනීට වරෙන්තු නිකුත්කොට තිබූ නමුත් ඔහු ඉන්දියාවට පලා ගියේය. එහිදී ඉන්දීය පොලිසිය විසින් කුට්‌ටුමනී අත්අඩංගුවට ගෙන 1976 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය විසින් කරනු ලැබූ ඉල්ලීමක්‌ අනුව අගමැති ඉන්දිරා ගාන්ධි මැතිනිය විසින් ඔහු ශ්‍රී ලංකා රජයට බාරදෙන ලෙස නියෝග කොට තිබුණි.

මෙම ඝාතනවලට සම්බන්ධ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්a 16 දෙනකුගේ නම් හා ඔවුන් මෙහෙයවූ පුද්ගලයාගේ නම ද බන්ධනාගාර නිලධාරීන් විසින් ආණ්‌ඩුවේ ඉහළ තැන්වලට බාරදී තිබූ නමුත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමක්‌a හෝ කිසිදු නීතිමය පියවරක්‌ සිදු කෙරුණේ නැත.

කොළඹ හැරුණු විට විශේෂයෙන් ජූලි 27, 28 දිනවල දරුණු ජාතිවාදී ප්‍රහාරවලට දෙමළ ජනතාව ගොදුරු වුණු නුවරඑළිය, බදුල්ල, තලවකැලේ. නාවලපිටිය, ගම්පොළ, දඹුල්ල, පොළොන්නරුව, අනුරාධපුර ආදී ප්‍රදේශවලට මැරයන් යවනු ලැබුවේ සංවිධානාත්මක වැඩපිළිවෙළක්‌ යටතේ ඇතැම් එජාප නායකයන් විසින් බව පසුව අනාවරණය විය.

මෙම ජාතිවාදී අරගලය සිදුවෙද්දී නගරයේ ආරක්‌ෂාවට යොදවා සිටි පොලිසිය හා ආරක්‌ෂක හමුදා අනුගමනය කළේ උදාසීන ප්‍රතිපත්තියකි. කොල්ලකරුවන් කඩ සාප්පු ගිනි තබන විට ඒවායේ භාණ්‌ඩ පැහැරගෙන යන විට හමුදාව හා පොලිසිය ඒවා නුදුටුවාක්‌ මෙන් පැත්තකට වී සිටිනු දක්‌නා ලදී,.මෙයට හේතුව මෙම විනාශකාරී ක්‍රියාවලට සම්බන්ධ වූ මැරයන් ආණ්‌ඩුවේ ප්‍රබලයන්ගේ අනුග්‍රහය ලැබූ අය වීම යෑයි සමහරු පැවසූහ. ඇඳිරි නීතිය කඩ කරමින් කොල්ලකෑම් සිදුකළද පොලිසිය ඒ කිසිදු මැරයකු අත්අඩංගුවට ගත්තේ නැත. සමහර ස්‌ථානවල මංකොල්ලකෑම්වලට පොලිසියේ සමහරුන්ද සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබුණි.

මේ කාලය තුළ රටේ ආණ්‌ඩුවක්‌ තිබෙන බවත් පෙනෙන්නට නොවූයේ මැර ක්‍රියාවලට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක්‌ නොගැනීම නිසාය. ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා මේ සිදුවීම්වලින් පසු පළමුවරට රූපවාහිනියෙන් ජාතිය ඇමතුවේ ජූලි 28 දාය. මෙම අවාසනාවන්ත සිදුවීම ගැන තමා අවංකවම කනගාටුවන බව ඔහු සිය කතාවේදී පැවසීය. එහෙත් එජාප ආණ්‌ඩුව මේ සිද්ධීන් පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක්‌ පැවැත්වූයේ නැත.

ආණ්‌ඩුව ජූලි කලබල සම්බන්ධයෙන් මැරයන්ට විරුද්ධව පියවර නොගත්a නමුත් 1983 ජූලි 30 දා අති විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ නව සමසමාජ පක්‍ෂය තහනම් කළේය. කැබිනට්‌ ප්‍රකාශක, රාජ්‍ය ඇමැති ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ ජූලි කලබල හුදෙක්‌ සිංහල, දෙමළ කැරැළි කෝලාහලයකට වඩා ගැඹුරු කුමන්ත්‍රණයක්‌ බවයි.

ඒ අනුව මෙම පක්‍ෂ තහනම් කළ බවද ඔහු කීය. මේ අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ නායකයන් වූ ඩිව් ගුණසේකර, එල්. ඩබ්ලිව්. පණ්‌ඩිත, කේ. පී. සිල්වා, එච්. ජී. එස්‌. රත්නවීර, වී. ඒ. සමරවික්‍රම යන මහත්වරු, ජනතා විමුක්‌ති පෙරමුණේ ලයනල් බෝපගේ ඇතුළු ක්‍රියාකාරීන් 30 ක්‌ පමණද ප්‍රින්ස්‌ ගුණසේකර මහතාද අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ රඳවා තබන ලදී,.නව සමසමාජ පක්‍ෂයේ වික්‍රමබාහු කරුණාරත්න, වාසුදේව නානායක්‌කාර හා ලිනස්‌ ජයතිලක ආදී නායකයෝ අත්අඩංගුවට පත් නොවී සැඟවී සිටියහ. දින 56 කට පසු කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ නායකයන්ට නිදහස ලැබුණි.

මේ අතර ශ්‍රී ලංකාවට කළු ජූලිය නිසා ඇතිවී තිබූ අපකීර්තිය මඟහරවා ගැනීම සඳහා කරුණු කීමට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා සිය සොහොයුරු, රාජ නීතිඥ එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතා ඉන්දියාව, ජපානය, කොරියාව, චීනය, පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවලට පිටත් කර හැරියේය.

මේ අතර ඉන්දියාව, මෙරට දෙමළ සටන්කාමී සංවිධානවල සාමාජිකයන්ට තමිල්නාඩුවේදී සටන් පුහුණුවක්‌ ලබාදීමට පියවර ගත්තේය. ඉන්දීය රෝ ඔත්තු සේවය එයට මූලික විය. පසුව අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉන්දියාවේ දෙමළ ත්‍රස්‌තවාදීන් පුහුණු කිරීමේ කඳවුරු 110 ක්‌ තිබෙන බවයි.

මීට පෙර 1956 දී, 1958 දී සහ 1977 දී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ජාතිවාදී කෝලාහලවලින් හානි සිදුවූ නමුත් ඉන්දියාව ඒ පිළිබඳව කිසිදු ප්‍රතික්‍රියාවක්‌ දැක්‌වීමට ඉදිරිපත් නොවීය. සුළු තරමින් හෝ විරෝධයක්‌ පැන නැගුණේ තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් පමණි. එහෙත් 1983 කලු ජූලියේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සිදුවී ඇති හිරිහැරවලට විරෝධය පළකරමින් නවදිල්ලියේ, කල්කටාවේ, බරණැස, බොම්බාය හා නාග්පූර් වැනි නගරවල විශාල පෙළපාලි පවත්වන ලද්දේ දෙමළ ජාතිකයන් විසින් නොව වෙනත් ඉන්දියානු ජන කොටස්‌ වලින් බවත් පාලක කොන්ග්‍රස්‌ පක්‌ෂයටත් වඩා බී.ඡේ.පී. කොමියුනිස්‌ට්‌ හා සමාජවාදී ආදී දේශපාලන පක්‍ෂ මෙම පෙළපාලිවලට සහභාගි වූ බවත්, ඒ දිනවල ඉන්දියාවේ සිටි ප්‍රවීණ මාධ්‍යවේදී ඇස්‌. පියසේන මතා පවසයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ කටයුතුවලට ඉන්දියාව මැදිහත්වීම, දෙමළ ඩයස්‌පෝරාව බිහිවීම, එල්.ටී.ටී.ඊ. ය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ශක්‌තිමත් වීම, ඇමරිකාව, නෝර්වේ ආදී රටවල් ශ්‍රී ලංකාවේ කටයුතුවලට බලපෑම් කිරීම උතුරේ යුද්ධය වසර 30 ක්‌ දක්‌වා ඇදී යැම ආදී අයහපත් ප්‍රතිඵල රැසකට 1983 කළු ජූලිය හා ඒ අවස්‌ථාවේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව ක්‍රියාකළ ආකාරය හේතුවූ බව පැහැදිලියි.



                            ලලිත්  ඇතුලත්මුදලි



උපුට ගැනීම :- දයා ලංකාපුර
ස්‌තුතිය ප්‍රවීණ මාධ්‍යවේදී ඇස්‌. පියසේන මහතාට