වලපනේ හිටපු සභාපති වසර 12ක්‌ හිරේ... | Colombocall වලපනේ හිටපු සභාපති වසර 12ක්‌ හිරේ... - Colombocall

Hot News

වලපනේ හිටපු සභාපති වසර 12ක්‌ හිරේ...

වලපනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුට සහ වලපනේ ප්‍රාදේශීය සභාවේ හිටපු රියෑදුරකුට බරපතළ වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක්‌ සහ රුපියල් ලක්‌ෂ 105 ක දඩ මුදලක්‌ ගෙවන ලෙස නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්‌. යූ. බී. කරලියද්ද මහතා ඊයේ (23 වැනිදා) නියෝග කළේය. 


 
 මෙසේ සිර දඬුවම් නියම කළේ වලපනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ වලපනේ ආසනයේ සංවිධායක ජගත් කුමාර සමරහේවා සහ වලපනේ ප්‍රාදේශීය සභාවේ රියෑදුරු ලෙස කටයුතු කළ බී. ජටිල ලාල් නමැති දෙදෙනාටයි.
 
 2004 වසරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයක්‌ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සහ බලපත්‍රයක්‌ නොමැතිව ගිනිඅවියක්‌ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ වලපනේ පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ සහ ගිනිඅවි ආඥා පනත යටතේ මොවුන්ට චෝදනා ගොනු කර තිබිණි. 
 
 දෙවන චෝදනාව යටතේ වසර දෙකක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් සහ රුපියල් 7500 ක දඩ මුදලක්‌ ද ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. මෙම දඩ මුදල් නොගෙවන්නේ නම් චූදිතයන්ට අමතර මාස 54 ක සිර දඬුවමක්‌ද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.
 
 එවකට උඩුපුස්‌සැල්ලාව පොලිසියේ ස්‌ථානාධිපති වශයෙන් කටයුතු කළ වර්තමානයේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. 
 
 රජයේ නීතිඥ සවිනි ඉද්දමල්ගොඩ මහත්මිය විසින් මෙම නඩුව මෙහෙයවා තිබිණි.
-නාලක රත්නායක, ඩග්ලස්‌ නානායක්‌කාර -
source